නත්තල් සම්මේලනය 2022

24-December-2022

මුළු මහත්ලෝකවාසී ජනතාව ඉමහත් වූ හරසරින් සූදානම් වනුයේ නත්තල් මංගල්‍යය පැවැත්වීමට ය එලෙසම කිතුනුවන් අධ්‍යාත්මිකව ක්‍රිස්තෝත්පත්ති මංගල මහෝත්සවය සඳහා සති හතරක් පුරා (ආගමනය) සූදානම් වන විට පිබිදුණු ජනතාවක් ලෙස ශ්‍රී ප්‍රශංසාරාමය භූමිය තුළ දින තුනක් පුරා නේවාසිකව රැඳෙමින් නත්තලේ සැබෑ අර්ථය අවබෝධ කරගනිමින් මාංශගත වීමේ ගැඹුරු අභිරහසට ඇතුළු වූයෙමු. නත්තල් මංගල්‍යය හුදු සැමරීමක් අභිබවන අත්දැකීමක් බවට පත් කර ගැනීම ට අවදි විය. මෙහිදී පෞද්ගලිකව හා සාමූහිකව යැඳුමෙන්, දේ වචනය මෙනෙහි කිරීමට යොමු වෙමින් ද නත්තල් මංගල්‍යය තම ජීවිතයට අලුත් උපතක් අත්දකින අත්දැකීමක් බවට පත් කර ගැනීමට යොමුවිය.

කිතුනු මංගල්‍යයක සුවිශේෂත්වය වනුයේ එම මගල්‍යය එලෙසම නැවත අත්දැකීමට ලැබීමය. එදා පළමු නත්තල් දින අත්දුටු දේව ප්‍රේමය ඒ ආකාරයටම නත්තල් දින  දිව්‍යයාගේ තුළ අත්දැකීමට ලැබීම ය. ඒ සඳහා අපගේ ඇතුලාන්ත සූදානම ඉතා වැදගත් ය එසේ ම අද අප පවත්වන නත්තල් මංගල්‍යයට අර්ථය ලැබෙනුයේ  ක්‍රිස්තු උත්ථානය මංගල්‍යය තුළිනි. එදා මුල් සංගය සේම සුවිශේෂකවරු හතර දෙනාම ඉතා විශේෂ කොට තම ජීවිතය තුල අත්දුටු සුබ ආරංචිය වූයේද ක්‍රිස්තු උත්තානයයි.

සුවිශේෂකවරු දෙදෙනෙකු පමණක් (මතෙව් හා ලුක්) උන්වහන්සේගේ උපත හා ළමා කාලය පිළිබඳ සෘජුව සඳහන් කිරීම තුළින්ම එය අපට ඉතා පැහැදිලි. නත්තල් සම්මේලනය තුළ සුවිශේෂකවරු නත්තල ඉදිරිපත් කර තිබෙන අන්දම පිළිබඳව ඉතා ගැඹුරු මෙනෙහි කිරීමට යොමු කරයි. ලෝක ආරම්භයේ සිට වැඩ සිටිය ධර්මයන් හෙවත් වචනය තේම වන පුත්‍රයාණන් වහන්සේ සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරන ආලෝකය නම් බව ඉදිරිපත් කරන ජුවාම් ශුභාරංචිය පිළිබඳ ගැඹුරු භාවනාවකට යොමු කරයි.

සුවිශේෂකවරු තම සුවිශේෂය ලියන පරමාර්ථය හා දැක්මට අනුව ක්‍රිස්තු උත්පත්තිය ඉදිරිපත් කර තිබෙන අන්දම හඳුනා ගනිමින් ද ප්‍රායෝගිකව එය මූලික කරගනිමින් අම්මලා, තාත්තලා, දුවලා හා පුතාලා ලෙස ප්‍රායෝගිකව ඒ ය ප්‍රකාශ වෙන ගවලෙන් සෑදීම මෙතෙක් මෙනෙහි කළ අත්දැකීම ප්‍රායෝගික යොමු කරන අවස්ථාවක් විය. එලෙසම මාංශ ගත වූ ක්‍රිස්තුස් වහන්සේගේ ගැළවීමේ ප්‍රීතිය අද්දකින මිදුම් මෙහෙය ජීවිත ස්පර්ශකය බලගතු අවස්ථාවක් විය.එලෙසම මධ්‍යම රාත්‍රී මංගල දිව්‍ය යාගය තුළ නත්තල අත්දකිමින් පැමිණි සියලු ජනතාව එකිනෙකාට තම තමන් අත්දුටු  නත්තලේ ප්‍රීතිය හා අලුත් උපත බෙදාගනිමින් ද ප්‍රාර්ථනා කරමින් ඉමහත් වූ ප්‍රීතියෙන් හා ආදරයෙන් යුතුව නත්තල් සම්මේලනය අවසන් කර තම නිවෙස් බලා ගමන් කරන්නට වූයේ නත්තලේ ප්‍රීතිය සැබෑ ලෙසම අත්දකිමින් අන්අයටද එය රැගෙන යන සේවක සේවිකාවන් ලෙසිනි.