ජේසු ක‍්‍රිස්තුන් වහන්සේ සමිදාණන් කරගනිමින් ගමනක යෙදෙන කිතු දන පුබුදු ජනතාවගේ ජීවිත ස්පිරිතුවේ මූලික පදනමක් වනුයේ ‘දේව කැමැත්ත’ ‘දේව සිත’ විමසීමයි. තීන්දු තීරණවල දී, ක‍්‍රියාකාරකම්වල දී පෞද්ගලික ජීවිතය තුළ, පවුල් ජීවිතය තුළ ව්‍යාපාරයක් ලෙස අපගේ සෑම කටයුත්තක දී දේව කැමැත්ත විමසීම ආරම්භක පියතුමාගෙන් අප ලද ආදර්ශය හා පුහුණුවයි. කිතු දන පුබුදු සම්ප‍්‍රදායට විමසීම් එකතුව එක්වූයේ 1996 වසරේ සිට ය. ව්‍යාපාරයක් ලෙස දිවැසි එකතුවේ සිට සෑම අංශයක් හා සේවාවක් ම ක‍්‍රියාත්මක වීමට පෙර දේව කැමැත්ත විමසීම, විමසීම් එකතුවේ මූලික කාර්යභාරයයි.

දේව සිත/දේව කැමැත්ත දැන ගැනීමෙහිලා අප සැලකිලිමත් විය යුතු විශේෂිත වචනයක් ඇත. එනම් "අනාවරණය" යන වචනය යි. මෙහි අර්ථය වනුයේ "සැඟව පැවැති යමක් නිරාවරණය කිරීම මිස අලූතින් නිපද වූ අලූත් දෙයක් නොවන" යන්න ය.

මහෝත්තමයාණන් එය අනාවරණය නොකරන සේක් නම් එය මිනිස් ඥානයට, බුද්ධියට, ස්ව ශක්තියෙන් දැන ගැනීමට පුළුවන්කමක් නැත (එපීස 5:13-17). අනාවරණය මගින් දේව කැමැත්ත දැනගැනීම දෙයාකාරයකින් සිදු වන බව පෙනේ.

  1. මහොත්තමයාණන්ගෙන් සෘජුව ම ලැබෙන අනාවරණය.

  2. අපගේ සෙවීම කරණකොටගෙන අපට දැනගන්නට ලැබෙන අනාවරණය.

අපගේ මෙම තේමාවට අනුව අප සැලකිලිමත් වන්නේ අපගේ සෙවීම කරණකොටගෙන අප සොයාගත යුතු දේව වචනය කැමැත්ත කෙරෙහි ය.

දේව සිත විමසීමේ පදනම් අත්දැකීම

මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ කිතු දන පුබුදුව තුළ නිළ වශයෙන් විමසීමේ කාර්යයෙහි යෙදෙන්නෙකු පිළිබඳ ව ය. ඔහු / ඈ පහත සඳහන් සිද්ධාන්ත 04 හි පිහිටා සිටිය යුතු ය.

  1. උත්ථාන වූ ජේසු සමිඳුන් හමුවීමේ අත්දැකීමකට ඇතුළු වී සිටින්නෙකු විය යුතු ය.
    මන්ද ක්‍රිස්තු ශ‍්‍රාවකයා යනු උත්ථාන වූ ක්‍රිස්තුන් වහන්සේ හමු වූ, ඔවුන්වහන්සේ ඇසුරු කරන තැනැත්තා ය. එසේ ම ශුද්ධාත්ම මෙහෙයවීමට නතුවීමට පිපාසයක් ඇති තැනැත්තා ය. මේ මූලික පදනම පිට නොපිහිටන කෙනෙකු විමසීම් එකතුවට සහභාගී වීමට සුදුසු නොවේ.

  2. ශු. බයිබලය තම ජීවිතයේ අත්පොත වශයෙන් සැලකීමට යොමු වූවෙකු විය යුතු ය.
    මන්ද ශු. බයිබලය යනු මහෝත්තමයාණන් පිළිබඳ පෞද්ගලික හා සාමූහික මිනිස් අත්දැකීමක ලේඛණයක් බැවින් පුුබුදු ජනතාව දේව වචනය තම ජීවිතයට, මිම්මක් ද, පිහිටක් ද, මඟපෙන්වීමක් ද කරගත්තෝ වෙති. එබැවින් විමසීම් එකතු සාමාජිකයෙකු ශුද්ධ ලියවිල්ලට සුවිශේෂ තැනක් දෙන අයෙකු විය යුතු ය.

  3. කතෝලික සභාවේ ජීවමාන සම්ප‍්‍රදායට අනුකූල වන්නකු විය යුතු ය.
    අලූත් ගිවිසුම ලේඛණගත වීමෙන් පසු මුල් ශ‍්‍රාවක සංඝය ලත් අත්දැකීම හෙවත් ශුද්ධාත්මයාණන් වහන්සේ වසර 2000ක කාල පරිච්ඡෙදය පුරා දේව ජනතාවට (ශුද්ධවු සභාවට) උගන්වා වදාළ දේ එනම් ශුද්ධාත්මයාණන් ස්ථිර ව, අඛණ්ඩ ව වර්ධනීය බවකින් යුතු ව, ජනතාවට උගන්වා ඇති සත්‍යතාවයන් සමූහය සහ ජීවිත ක‍්‍රමය අප හඳුන්වන්නේ ජීවමාන සම්ප‍්‍රදාය ලෙස ය. සභා ජීවමාන සම්ප‍්‍රදාය සහ වේද සත්‍යයන් පිළිබඳ ව සභා නිල ප‍්‍රකාශන, චක‍්‍රලේඛයන් හා මන්ත‍්‍රණ සභා කතිකාවන් ඔස්සේ අප වෙත ඉදිරිපත් වී ඇත. පුබුදු ජනතාව කතෝලික අපෝස්තලික සභාවට අයත් ක්‍රිස්තු - ශ‍්‍රාවක පිරිසක් බැවින් සභාවේ ජීවමාන සම්ප‍්‍රදායන්ට අනුබද්ධිත ය. එසේ නොවන අයෙකුට විමසීම් එකතුවට සහභාගීවන්නට හැකියාවක් නැති බව කිව යුතු ම ය.

  4. කිතු දන පුබුදු සම්ප‍්‍රදායට පූර්ණ ව දායක වන අයෙකු විය යුතු ය.
විමසීමේ කාර්යය කරනු ලබන අන්දම

මෙය ආකාර 03කින් සිදු වේ.

  1. සංකීර්ණ අවදිවීම.
    විමසීමට ඇති කරුණු පිිළිබඳ ව අප දන්නා කරුණු පදනම් ව කතා බහක යෙදීමත්, ඒවා පිළිබඳ හරි වැරදි, තර්ක - විතර්ක, නීතිය, දේශපාලන, ආර්ථික තත්ත්වයන් සමාජ පසුතලයන් ශාරීරික, මානසික, ආත්මික සෑම පසුතලයක් ගැන ම සොයා බැලීම.

  2. ආලෝකවත් අවදිවීම - පළමු පියවර
    දෙවන මට්ටමේ දී සංකීර්ණ ව කතා කළ සියල්ලෙන් හිස් වී ගැඹුරු යාච්ඤාවකට යොමු වේ. විමසන කරුණේ ස්වභාවය අනුව සතියක් හෝ සති දෙකක් ගැඹුරු යාච්ඤාවකට ඇතුළු වේ. ඒ සමඟ ම ස්වාමීන් වහන්සේගෙන් ලැබෙන මඟපෙන්වීම කුමක්දැ’යි යාච්ඤාව තුළ ආලෝකමත් අවදිවීමට ඇතුළු වේ.

  3. ආලෝකවත් අවදිවීම - දෙවන පියවර
    දෙවන පියවරේ කොටස් 02කි.
    1. යාච්ඤාව තුළ ලැබුණු මඟපෙන්වීමේ වචනයන් - ආලෝකයන් ඒකරාශී කරගැනීම හා නැවත පොදුවේ ප‍්‍රකාශ කිරීම.

    2. තමන් ප‍්‍රකාශ කළ දෙයින් හිස් වී එම ආලෝකයන් අතරින් මූලික ව ලැබෙන ආලෝකයන්ට නැවත විවෘත ව අවසානයේ දී ආලෝකයන් දෙකකට හෝ තුනකට යොමු වීම (මේ සඳහා සමිඳාණන්ගේ සිත විමසීම පිළිබඳ ව ගැඹුරු යාච්ඤාවට ඇතුළු වීම සිදු වේ.)

ප‍්‍රධාන වගකීම් ගන්නා කණ්ඩායම (සාංඝීකය සම්බන්ධ විමසීමක් නම් සාංඝීකයේ මූලික එකතුව ද ජාතික මට්ටමේ විමසීමක් නම් ජාතික දිවැසි එකතුව) ශුද්ධාත්ම මඟපෙන්වීම තුළ ඒ ආලෝකයන් අතරින් මූලික ආලෝකය මතු කර ගැනීම සිදු කරයි. ඉන්පසු අවසාන වචනය පොදුවේ ප‍්‍රකාශ කිරීමත් සමඟ එය ක්‍රියාත්මක කිරීමට යොමු වේ.