කිතු දන පුබුදු තරුණි කැළ වසර පනහක් පුරා ඔවුන් වහන්සේ රැගෙන ආ "සමිඳුන් අත ගත් ගමනෙහි" යෙදෙමින් සමිඳුන් තුළ කළා වූ "නිහඬ විප්ලවය" දෙවි මහෝත්තමයාණන් වහන්සේගේ මහිමයේ ප‍්‍රශංසාව සඳහා මෙලෙස සිහි ගන්වමු.

1971 වසර තුළ ආරම්භ වූ කිතු දන පුබුදුව, දෙවි මහෝත්තමයාණන් වහන්සේගේ ස්වෛරී ක‍්‍රියාවක් ලෙස බිහි වූ බවට අපි සැම එක් ව සාක්ෂි දරමු. 1971 වසරේ මුල් භාගයේ අප දේශය තුළ ඇතිවුණු තරුණ අරගලය සමඟ ගිනි අවි අතට ගත් තරුණ කැරැල්ල හමුවේ ක‍්‍රිස්තියානි තරුණ ව්‍යාපාරයේ තරුණ තරුණියන් ඉමහත් අසීරු, භයානක අභියෝග රැසකට මුහුණ පා සිටියහ. එවකට කොළඹ පදවි තරුණ ක‍්‍රිස්තියානි ව්‍යාපාරයේ ගරු සිරි ඔස්කා අබයරත්න පියතුමාණන් ඒ වන විට යෙදී සිටි විදේශ ගමන නිමවා පෙරළා ලංකාවට පැමිණියේ 1971 වසරේ අග භාගයේ දී පමණ ය.

එම විදේශ ගමන සුවිශේෂී ගමනක් බව අප කවුරුත් දන්නා කරුණකි. එහි දී එතුමා ලද ශුද්ධාත්ම ස්පර්ශයත්, ශුද්ධාත්ම ආලේපයත් සමඟ ලද අත්දැකීම් සම්භාරය කරණකොටගෙන ශුද්ධවූ බයිබලය තරුණ තරුණියන් අතට පත් කරමින් සමාජ විප්ලවයකට පෙර, තම ජීවිතයේ ආධ්‍යාත්මික විප්ලවයකට මුල පුරන්නට තරුණ තරුණියන්ට ඇරයුම් කළේ ය. එනම්, ක‍්‍රිස්තුන් වහන්සේ තුළ තම ජීවිතයේ අත්තිවාරම ගොඩනඟා ගැනීමට එතුමා ඔවුන්ට මඟ පෙන්වී ය.

"දමා තිබෙන අත්තිවාරම හැර වෙන අත්තිවාරමක් දමන්නට කිසිවෙකුට නුපුළුවන. ඒ අත්තිවාරම නම් ජේසුස් ක‍්‍රිස්තුන් වහන්සේ ය."
(1 කොරින්ති 3:11)

මරණය පරාජය කර උත්ථාන වී ජීවමාන ව වැඩ සිටින සමිඳාණන් වහන්සේ ව හමුවන්නට, ඇසුරු කරන්නට, අත්දකින්නට තරුණ කැළට භාග්‍යය උදාවිය. ඓතිහාසික ව වැඩ සිටි ක‍්‍රිස්තුන් වහන්සේ ව ආදර්ශයට ගැනීමට වඩා, ජීවමාන ව වැඩසිටින කිතු සමිඳාණන් හමු වී තම ජීවිතයේ පදනම ඔවුන් වහන්සේ මත ගොඩනගා ගන්නට එම තරුණ කැළ ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් මෙහෙයවන ලද්දේ ය. එසේ ම තමන්ගේ ඇසට පෙනෙන, කණට ඇසෙන සියල්ල හමුවේ යුක්තිය, සාධාරණත්වය ගැන ප‍්‍රශ්න කිරීම, අරගල කිරීම "තරුණකම" යයි සිතා සිටි යොවුන් පරපුරට උත්ථාන වූ සමිඳාණන් හමුවීම, අත්දැකීම එක ම පිළිතුර විය. එලෙස ම එකමුතුකම තුළ (ශු. මතෙව් 18:19,20) ක‍්‍රියාකරමින් සුන්දර සිහින දකින අනාගතයකට නොව දෙවි මහෝත්තමයාණන් කෙරෙහි විශ්වාසය තබා යථාර්ථයට අවදි වෙමින් මොහොතේ ජීවිතයට මගපෙන්වූ ස්වාමි තාත්තා සමාජයේ විවිධ අයුරින් තනිවී සිටින තරුණ-තරුණියන් සොයා යමින්, උත්ථාන වූ කිතු සමිඳාණන් හමු වීමේ හා අත්දැකීමේ මේ මහා සුබාරංචිය ප‍්‍රකාශ කරන්නට කැපවෙන ලෙස තරුණ - තරුණියන්ට ආරාධනා කළේ ය.

එම ආරාධනය සමිඳාණන් වහන්සේගෙන් ලද කැඳවීමක් ලෙස භාරගත් තරුණියන් කිහිප දෙනෙකු සිය නිවෙස් අතහැර තම ජීවිතය සමිඳාණන් අතට භාර කරමින් කොළඹ හය වන පාවුළු මධ්‍යස්ථානය තම නිවහන කරගෙන, එකිනෙකා අතර ගැඹුරු එකමුතුකම තුළ සහෝදරත්වයෙන් බැඳෙමින්, ඒ තුළ අත්දුටුවා වූ උත්ථාන වූ සමිඳාණන් වහන්සේගේ බලය කරණකොටගෙන සුබාරංචිය ගෙන යන්නට ඔවුහු පෙරමුණ ගත් හ. එසේ ම ආර්ථික වශයෙන් ඔවුන් මුහුණ දුන් විවිධ අගහිඟ හමුවේ තම දෑතේ හැකියාවෙන් ආදායම් මාර්ගයක් සොයා ගනිමින් ගැඹුරු විශ්වාසයේ ජීවිතයක් තුළ සුබාරංචිය ප‍්‍රකාශ කරන්නට කැප විය.

මෙලෙස විවිධ ප‍්‍රදේශවල තරුණියන් සොයා යමින් ඔවුන් අතට ශුද්ධවූ බයිබලය පත් කරමින් දේව වචනය පහදා දෙමින්, උත්ථාන වූ සමිඳාණන් වහන්සේ හමුවීමේ අත්දැකීම අනිත් තරුණියන්ට ද උදා කරලී ය. මෙසේ ගොඩනැඟුණු එම තරුණි පිරිස 1975 වසරේ දී "තරුණි අංශය" බවට පත් වෙමින් එම වසරේ දී පළමු වාර්ෂික තරුණි රැළිය පැවැත්වී ය.

එවකට කිතු දන පුබුදුවට එල්ල වුණු බරපතල චෝදනාව වූයේ දේව මාතාවන් වහන්සේට පුබුදුව තුළ තැනක් නොදෙන බව ය. එසේ චෝදනාවක් ලැබුව ද භාග්‍යවත් දේව මාතාවන් වහන්සේට ඉමහත් ආදරයක්, ගෞරවයක් දැක්වූ අප ආදර ස්වාමි තාත්තාගේ අත්දැකීම වූයේ එතුමියගේ ජීවිත අත්දැකීම අපගේ ද අත්දැකීම විය යුතු බවයි. එයට ප‍්‍රතිචාර දුන් තරුණියෝ දේව මාතාවන් වහන්සේ තම ජීවිතයේ පරමාදර්ශය කර ගනිමින් "හිස් වීමත්", "සවන් දීමත්" නැමති මූලික ලක්ෂණයන් තම දිවියෙන් පිළිබිඹු කරන්නට 1975 වසරේ දී "අපි මරියතුමිය වාගේ වෙමු" යන්න තේමාව කර ගනිමින් වාර්ෂික තරුණි රැළිය පැවැත්වී ය. ඉන්පසු පෙරට ආ තරුණි කැළ මරිය ගොරෙට්ටි සොයුරියගේ නායකත්වයෙන් 1976 දී "චාම් බවයි, එකමුතුවයි, රට රැකුමයි" යන තේමාව පෙරදැරි කරගෙන වාර්ෂික තරුණි රැළිය පැවැත්වූ අතර එහි විශේෂත්වය වූයේ තරුණි තේමා ගීය දොරට වැඞීම ය.

"පිබිදෙන පියුමක වසන්තයේ" - පුබුදු ගීතාංජලිය ගී අංක 109

මෙම ගීය අදටත් දෙවි මහෝත්තමයාණන් වහන්සේගේ හඬ අප වෙත ගෙනෙන සුපුවතකි. එම රැළියේ දී රට වෙනුවෙන් පෙරට එන්නට, රට පුබුදාලන ගමනකට කැපවන ලෙස තරුණියන්ට ආරාධනාවක් ලැබුණි. ඒ අනුව තම ජීවිත තුළ අභියෝගයන් රැසක් මධ්‍යයේ මෙම ආරාධනාව භාර ගත් තරුණියෝ එතැන් පටන් දේශීය දේ අගය කරන්නටත්, සරල ජීවිත පැවැත්මකට මුල පුරන්නටත් පටන් ගත්හ. එලෙස ම අපගේ දේශය තුළ පිරිහී යන සාංස්කෘතික වටිනාකම් රැක ගන්නට හා ගිලිහී යන සාරධර්ම රැක ගන්නට ද පෙරමුණ ගත්හ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස "සරල චාම් විවාහයන්" සිදු කිරීමට හා පසුකාලීන ව "සුදු මුදු පුබුදු විවාහයන්" කිරීමට ද ඉදිරිපත් වෙමින් තරුණි අංශය කිතු දන පුබුදුවට ජීවයක් විය.

මෙලෙස ගොඩනැගෙමින් පෙරට ආ තරුණි අංශය තුළ විවිධ පෝෂණ වැඩසටහන් සැළසුම් කරමින් ඉදිරියට ම ආ හ. ඒ අතර එ‍ඬේරික සේවාව විශේෂ තැනක් ගත් අතර තරුණි ඉගැන්වීම්, ඇතුළාන්ත සුව සම්මේලන යනාදි වශයෙන් සකස් වෙමින් තරුණි අංශය පෝෂණය කර ඉදිරියට ආ ගමනේ 1980 වසරේ දී තවත් සුවිශේෂි ගමනෙක මංගල පියවරක් අරඹන ලදී. එනම් මරිය ගොරොට්ටි සොයුරිය ඇතුළු සොහොයුරියන් පුබුදු දිවිය සිය දිවියෙන් ම රැගෙන යන්නට, තම විවාහ ජීවිතයට තිබෙන අයිතිය ද පූජා කරමින් අසීරු පියවරක් තැබූහ. ජේසුස් වහන්සේ තම ජීවිතයේ සදාතනික මනාලයා කර ගනිමින්, අවිවාහක ව තම ජීවිතය මුළුමනින් සමිඳාණන් වහන්සේට කැප කර දේව රාජ්‍යය ගොඩ නැඟීමේ දූත කාර්යයට මුලපුරමින් "සුබැඳි දිවියට" ඔවුහු ඇතුළු වූහ.

තවද, සඳහන් කළ යුතු කරුණක් වන්නේ අප තරුණි අංශය තුළ කිසිවකුටත් නොදැනීම අවුරුදු 30 ඉක්මවා ගිය තරුණි කණ්ඩායමක් බිහිවීමයි. එම පිරිස පසුකාලීන ව වැඩිහිටි තරුණි අංශය ලෙසින් ද වර්තමානයේ "සුරැඳි සංඝය" ලෙසින් ද හඳුන්වනු ලැබී ය. එම සංඝය සිය කැමැත්තෙන් ම විවාහය ප‍්‍රතික්ෂේප කර දේව රාජ්‍යය වෙනුවෙන් සේවය කරන්නට කැප වූ අයගෙන් හා ක‍්‍රිස්තුන් වහන්සේ තම ජීවිතයේ පදනම කරගත් ජීවිත ගමනට අත දෙන්නට පුළුවන් සහකරුවකු නොලද හෙයින් විවාහ වීමේ වයස ඉක්මවා ගිය තරුණියන් ද අයත් වන අතර මෙම සොහොයුරියන් සැමදෙනා කිතු දන පුබුදුව තුළ දේව ආදරය, සුරක්ෂිතභාවය ගැඹුරින් අත්දකිමින් දූත කාර්යයෙහි නිහඬ ව යෙදී සිටින්නාහ.

1980 දශකය වන විට කිතු දන පුබුදුව තුළ ශිෂ්‍ය - ශිෂ්‍යා, ළමා අංශ ද ගොඩනැඟෙන්නට විය. එහි දී ශිෂ්‍යා අංශයේ හා ළමා අංශයේ වගකීම ද තරුණි අංශයට පැවරුණු අතර එම අංශයන් ගොඩනැඟීම සඳහා ද තරුණියෝ බොහෝ පිරිසක් කැපවීමෙන් ක‍්‍රියා කළ හ.

මෙලෙස සමිඳුන් අතගත් ගමනක යෙදෙන තරුණි අංශය තුළ වගකීම් ගන්නා අය සඳහා ස්වාමි තාත්තාගෙන් ලද විශේෂිත ම මඟ පෙන්වීම වූයේ "යාච්ඤා ජීවිතය" තුළ කිතු සමිඳාණන් වහන්සේ හා සමඟ ගැඹුරු සම්බන්ධතාවයේ ජීවිතයක් ගත කිරීම ප‍්‍රමුඛතාවය විය යුතු බවයි. ඒ අනුව එවකට තරුණි මූලික එකතුවට සම්බන්ධ සියලූ ම දෙනාට දිනපතා "පෞද්ගලික යාච්ඤාව" හා මසකට වරක් "යාච්ඤාවේ දිනයක්" ගත කිරීමත්, මූලික එකතුවක් ලෙස යාච්ඤාවේ ජීවිතයක් ගත කරමින් දෙවිඳුන් අභියස පෙනී සිටීම ප‍්‍රමුඛතාවය විය. ඒ අනුව තම ජීවිතයේ අත්තිවාරම සමිඳාණන් මත ගොඩනඟා ගනිමින් ශුද්ධාත්මයාණන් වහන්සේ ගෙන් ලද ශුද්ධාත්ම අනුග‍්‍රහය කරණකොටගෙන තමන් පිබිදී, ගම පුබුදන්නට, රට පුබුදන්නට කැපවුණු තරුණියෝ අද මව්වරු ලෙස පවුල තුළ ක‍්‍රිස්තු කේන්ද්‍රීය ජීවිතයක් ගත කරමින් ද ඒ අයගෙන් බොහෝ පිරිසක් මේ වන විට කිතු දන පුබුදුවේ ජාතික මට්ටමේ සිට ප‍්‍රශංසා ගම් දක්වා වගකීම් දරමින් පුබුදු සංඝයේ ගමනට උර දෙති.

වර්තමානයේ අද පුබුදු තරුණි කැළ ලෙස අප පෙරට වඩා අභියෝග රැසකට මුහුණ දෙමින් ලෝකය හමුවේ සමිඳුන් තුළ සාක්ෂි දැරීමේ ගමනේ යෙදෙන්නෙමු. මේ වන විට තරුණියන් කාලය හා ශ‍්‍රමය කැප කිරීමේ දැඩි අසීරුතාවයන් මැද සමිඳුන් අතගත් ගමනෙක යෙදෙන තරුණි කැළට අත දෙන ජාතික තරුණි සහයක එකතුව ද මසකට වරක් එක්රැස් වෙමින් ද විවිධ අතදීම්, වැඩ සටහන් ක‍්‍රියාවට නංවමින් ද සාංඝික මට්ටමේ තරුණි පොදු දින පවත්වමින් සමිඳාණන් වහන්සේ මත තම ජීවිත පදනම ගොඩනඟා ගැනීමට අත දෙමින් ද කටයුතු කරති.

ඒ සමඟ ම කිසිවකු බලාපොරොත්තු නොවුණු විශාල අභියෝගයකට එනම් කොරෝනා වසංගතයට මුළු ලොව ම මුහුණ පාද්දී තරුණි අංශයට ද එය විශාල අභියෝගයක් විය. නමුත් ක‍්‍රිස්තුන් වහන්සේ සමඟ අපගේ තිබුණු ගැඹුරු සම්බන්ධතාවයෙන් කිසි ම බලවේගයකට, කිසිම වසංගතයකට අප ව වෙන් කළ නොහැකි බව සනාථ කරමින් තරුණි අංශය තුළ ක්‍රියාවට නංවමින් තිබූ තරුණියන් සඳහා අතදීමේ දූත කාර්යය තාක්ෂණික මාධ්‍ය ඔස්සේ ක‍්‍රියාවට නගන්නට පියවර ගත් අතර එමගින් සෑම තරුණියකට ම යාච්ඤා ජීවිතයට අත දෙන්නටත්, තරුණි ඉගැන්වීම් හරහා ක‍්‍රිස්තුන් වහන්සේ මත ජීවිත ගොඩ නගා ගන්නටත් අත දීමට පියවර ගත්තෙමු.

ඒ අතර කිතු දන පුබුදුවට වසර පනහක් සපිරෙන මේ මොහොතේ ඉතාමත් කාලෝචිත දූත කාර්යයකට තරුණ - තරුණි දෙඅංශය ම එක් ව පිළිතුරු දීමට ඇරයුම් ලබා ඇත. එනම් ශුද්ධවූ බයිබලය පනස් දාහක් ජනතාව අතරට ගෙන යාම ය. මෙය සමිඳාණන් වහන්සේ අබියස ප‍්‍රීතිමත් වීමට හේතුවකි. පුබුදුව ආරම්භයේ දී ද තරුණ-තරුණි කැළ ශුද්ධවූ බයිබලය රැගෙන ගෙයින් ගෙට යමින් සුබාරංචිය ප‍්‍රකාශ කරන්නට ස්වාමි තාත්තා සමඟ අත්වැල් බැඳගත්තා සේ වර්තමානයේ මෙම දූත කාර්යය කිතු දන පුබුදුවේ නව පිබිදීමකට, නව පෙරළියකට මුලපුරනවා නො අනුමාන බව අපගේ එක ම විශ්වාසයයි. එලෙස සටහන් කරමින් කිතු දන පුබුදු තරුණි කැළ සමිඳාණන් වහන්සේ ගෙන ආ ගමන මුල්කරගෙන දෙවි මහෝත්තමයාණන් වහන්සේට ප‍්‍රශංසා කරමු. වැඳ වැටී දොහොත් මුදුන් දී නමස්කාර කරමු. ආමෙන්! ආලේලූයියා!