පිය අභිනන්දන

04-November-2022

යුගයේ දිවැසිවරයාණන් සමිඳු තුරුළට නික්ම පළමු වර්ෂ පූර්ණය....

පසුගිය නොවැම්බර් මස හතර (4) වන දින අප කිතු දන පුබුදු ආරම්භක නියමුවාණන් වන අප ආදර ස්වාමි තාත්තා, පූජක සිරි ඔස්කා අබයරත්න සමිඳු තුරුළට පිවිසි ප‍්‍රථම වර්ෂ පූර්ණ සිදු විය.

ඒ අළලා ස්වාමි තාත්තාගේ ජීවිතය තුළින් ප‍්‍රකාශ වූ ලක්ෂණ දෙස අවදි වෙමින් ‘‘පිය අභිනන්දන’’ නමින් වැඩසටහනක් සංවිධානය කෙරිණි. එය හුදෙක් සැමරුමක් ම නොව අප ආදර ස්වාමි තාත්තාගේ ජීවිතය දෙස ආපසු හැරී බැල්මක් බඳු විය. පූජක පැවිදිවරයෙකුට වඩා තාත්තා තුළින් ප‍්‍රකාශ වූ නායකත්වය, පිතෘත්වය, ආරම්භකයෙකු, පෙරගමන්කරුවෙකු ලෙස තාත්තා ප‍්‍රකාශ වූ අයුරු, සොබාදහම්වේදියෙකු, දේශප්‍රේමියෙකු, සංගීතවේදියෙකු ලෙස පමණක් නොව, ධ්‍යානයෝගියෙකු මෙන් ම ශුද්ධාත්මවේදියකු ලෙස තාත්තාව ප‍්‍රකාශ වූ අයුරු අපි එදින ආවර්ජනය කළෙමු.

අප ආදර තාත්තාව සමීපව ඇසුරු කළ මව්වරු පියවරු එදින තාත්තාව තම ජීවිතවලට බලපෑ අයුරු පිළිබඳ සාක්ෂි දැරූ හ. ඉතාලිය, ලෙබනනය,  ඕස්ටේ‍්‍රලියාව වැනි විදෙස් සංඝයන් ද සූම් තාක්ෂණය ඔස්සේ එදිනට සම්බන්ධ වෙමින්තම ජීවිතයට මෙන්ම එම විදෙස් සංඝයට ස්වාමි තාත්තා බලපෑ අයුරු බෙදාගත්හ.
ශුද්ධාත්මයාණන් වහන්සේ මේ ලක් පොළොව මත උන්වහන්සේ අත්ගත් ගමනක් යන ජනතාවක් ගොඩනගන්නට, පැරණි ජීවිත උඩු යටිකුරු කරමින් ජේසුස් වහන්සේ ස්වාමියාණන් කරගත් ජීවිත පැවැත්මට ජනතාවක් ඇතුලූ කරවන්නට ස්වාමි තාත්තාව දෙවිඳුන් දෑතෙහි උපකරණයක් කරගත් අයුරු පිළිබඳ ව දෙවිඳුන් පුද දුන්නෙමු.


ආදර ස්වාමි තාත්තාගේ ඔබ නිසා අපි මහෝත්තම දෙවිඳුන් පසසන්නෙමු. කිතු දන පුබුදුව තවත් සියක් වසක් සමිඳුන් තුළ රැුගෙන යන්නට මහෝත්තම වූ පියාණන් ඉදිරියේ අප නිසා යාච්ඤා කළ මැනවි !