කල්පිටිය අර්ධද්වීපය වැනි දුෂ්කර ප‍්‍රදේශයකට පිබිදීමේ අත්දැකීමෙහි ජීවත් වන ජනතාවක් ගොඩනැඟීමේ මුල් බීජය රෝපණය වූයේ අසල්වැසි සාංඝීකය වූ හලාවත සාංඝීකයේ බලපෑම හා සම්බන්ධතාවයන් මඟිනි. එලෙසම එය තවදුරටත් වර්ධනය වී ගොඩනැඟීම සඳහා හලාවත තොඩුවාව ප‍්‍රදේශයෙන් ධීවර රැකියාව සඳහා පැමිණි සංක‍්‍රමණික ධීවරයන්ගේ බලපෑම සුවිශේෂි අයුරින් බලපාන්නට විය. එදා මුල් ශ‍්‍රාවකයන් ධීවර රැකියාවේ නියුක්ත වූ පිරිසක් ලෙස ඔවුන් ලද ශුද්ධාත්ම ස්නාපනය සමඟ මිනිසුන් දිනාගන්නන් බවට පත් වූයේ යම් සේ ද උත්ථානවූ ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේව හමු වී සිටි මෙම සංක‍්‍රමණික ධීවර ජනතාව තමන් අත්දුටු සුබාරංචිය තම රැකියාවෙහි නියුක්ත වෙමින් කල්පිටිය-කන්දකුලිය ජනතාව සමඟ බෙදා ගැනීම මඟින් මෙම ප‍්‍රදේශය තුළ පිබිදුනු කිතුනු ජනතාවගෙන් සැදුම්ලත් සංඝයක් ගොඩනැඟිනි.

පිබිදුනු කිතුනු ජනතාව පුබුදු අධ්‍යාත්මිකත්වයෙන් පෝෂණය කිරීම සඳහා පැමිණෙන වචනයේ සේවකයන් අවිවාහක ජීවිතය ගත කරන සුබැඳි සොයරු සොයුරියන් මෙන්ම පුබුදු සංඝයේ සෙසු පිරිස් ද, මෙවන් දුෂ්කර ප‍්‍රදේශයකට පැමිණ සේවය කිරිමේ දී, මුහුණ දුන් ගැටළු රාශියකි. එහිදී ප‍්‍රධානතම ප‍්‍රශ්නය වූයේ, නේවාසිකව නතරවීමට ස්ථානයක් නොතිබීම යි. බොහෝවිට මාලූ වාඩියක, පැල්පතක් හෝ දුන් ගාලක්, හිසට සෙවනක් වුව ද, එය අඛණ්ඩව සිදු කිරීමේ දී, ප‍්‍රායෝගික ගැටළු රැසකට මුහුණ දීමට සිදු විය. මෙම අත්දැකීම පුබුදු නායකත්වය හා ස්වාමි තාත්තා සමඟ බෙදාගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙවන් ශුද්ධ භූමියක් ලබා ගැනිමට හේතු විය.

කිතු දන පුබුදු මහ ගෙදර ලෙස නම් කරන වල්පොල, රාගම, ශ‍්‍රි ප‍්‍රශංසාරාමයට කිලෝමීටර 150ක් පමණ දුරින් පිහිටා තිබෙන ශ‍්‍රි රම්‍යාරාමය ඓතිහාසික තලවිල පුදබිමට නුදුරින් පිහිටා ඇත. ධීවර කර්මාන්තය හා ගොවිතැන තම ජීවනෝපාය කරගත් බහුතර ජනතාව ඉතා දිළිදු ජීවිත ගතකරන පුබුදු ජනතාවට මෙම ආරාම භූමිය දෙවි මහෝත්තමයාණන් වහන්සේව අත්දකින ශුද්ධ භූමියකි.

පුබුදු මූලස්ථානයට ඉතා දුරස්ථව පිහිටි කල්පිටිය අර්ධද්වීපයේ වෙසෙන පුබුදු ජනතාවට මෙම භූමිය හිමි වූයේ 1998 වර්ෂයේ ය. මෙම ආරාම භූමියේ මංගල්‍යය ලෙස සලකනු ලබන්නේ ශුද්ධවු සභා මාතාව සැප්තැම්බර් මස 08 වන දින සමරනු ලබන දේවමාතාවන් වහන්සේගේ උපන් මංගල්‍ය දිනය යි. ආරාම භූමියෙහි ඇති ප‍්‍රධාන නිවස වසර ගණනාවක් පුරා නේවාසිකව ජීවත් වන සුබැඳි සොයුරන්ගේ හෝ සබැඳි සංඝයට අයත් පවුලෙහි ප‍්‍රධාන නේවාසික ගෘහය විය. එලෙසම මුල් යුගයේ දී සංඝයේ ජනතාව ඒකරාශි වන ස්ථානය බවට ද, පත්වූයේ මෙම ගෘහය යි. කාලයත් සමඟ ප‍්‍රධාන යාච්ඤා ශාලාවක් ජනතාවට ඒකරාශි වීමට සැකසු අතර සුබැඳි සොයුරන්ට හා සබැඳි පවුලක් සඳහා නේවාසික ගෘහයන් නිම වූයේ ජනතාවගේ ම ශ‍්‍රමය හා මූල්‍ය දායකත්වය මඟිනි.

ආරාමයේ පිටුපසට වන්නට පිහිටා තිබෙන දිව්‍ය සත්ප‍්‍රසාද වහන්සේ තැන්පත් කර ඇති නිවහන හෙවත් "නිධානය" දේවධාර්මිකව මෙන්ම පුබුදු දිව්‍ය සත්ප‍්‍රසාද බැතිය අපට සිහිගන්වනු ලබන ජීවමාන පිළිබිඹුවකි.

කල්පිටිය ප‍්‍රදේශයට ම සුවිශේෂ ශාකයක් වන්නේ තල් ගස යි. දිව්‍ය සත්ප‍්‍රසාදීය ගෘහයේ වැඩි බර දරා ගනිමින් තල් කණු 8ක් මත සෑදුණු මෙම යැදුම් කුටිය අපට තල් අරණක් සිහිගන්වනු ලබයි. මෙහි වහළය මත සවිකර ඇති වඩිම්බු ද, තල් කොළයේ තුඩු හැඩය ගනියි. තල් කණු 8න් සංකේතවත් වන්නේ භාග්‍ය 8 යි. මෙම ප‍්‍රදේශයේ බහුතර වෙසෙන දිළිදු ජනතාවට කිතුනු සුබාරංචියේ අදාළතාව එයින් සංකේතවත් කරනු ලබයි.

දිව්‍ය සත්ප‍්‍රසාද කුටියේ ඉදිරි කොටස විවෘත ශාලාවක් ලෙස සකසා තිබෙනුයේ දසතින් හමා එන සුළඟට විවෘත කරමිනි. එය අපට "රුවා-හ් එලොහිම්" නම් සමිදාණන් වහන්සේගේ ආත්මය වන ශුද්ධාත්මයාණන් වහන්සේට දක්වන විවෘත බව සංකේතවත් කරනු ලබයි. මෙය ගොඩනගා ඇත්තේ පියගැටපෙළ 4ක් මත ය. මෙම පියගැට පෙළ 4 අපට ඉඟි කරන්නේ පුබුදු කැරිස්මාව ය.

දිව්‍ය සත්ප‍්‍රසාද වහන්සේ තැන්පත් කර ඇති පසුපස කොටසට ඇති පිවිසුම පියන්පත් 4කින් සමන්විත දොරටු සතරකින් සැදුම්ලත් දොරටුවකි. පුබුදු කැරිස්මාවේ අත්දැකීම් 4 හරහා දෙවියන් වහන්සේගේ සම්මුඛයට දොරටු විවෘත වන බව ඉන් සංකේතවත් කෙරේ. දිව්‍ය සත්ප‍්‍රසාද වහන්සේ තැන්පත් කර තිබෙනුයේ 9 වන තල් කණුවේ කුහරය තුල ය. දිව්‍ය සත්ප‍්‍රසාදය තුළ වැඩ වසන ජීවමාන ක‍්‍රිස්තුස් වහන්සේ කල්පිටිය අර්ධද්වීපයේ ජන ජීවිත වලට කිඳා බැස මාංසගත ව වැඩ වසන අයුරු ඉන් නිරූපණය කෙරේ. දිව්‍ය සත්ප‍්‍රසාද වහන්සේ තැන්පත් කර ඇති කොටස වටා ඇති ජලාශය (එසකියෙල් 47:1-12) විස්තරයේ කියැවෙන පරිදි දේව මාළිගාවෙන් ගලා ගිය ජීවනදායක ගංඟාව අපට සිහිපත් කරවයි. මෙම සත්ප‍්‍රසාද නිවහන වටා පළතුරු ගස් වවා ඇත්තේ සුගති උයන මෙන් සමිදාණන් වහන්සේට සමීප දිවියක් ගත කිරිමට අපට ඇති කැඳවීම සිහිපත් කරමිනි.

නිධානයට යාබදව පිහිටුවා ඇති පරිවාර කුටි පෞද්ගලිකව යාච්ඤාවෙන් හා භාවනාවෙන් යුතුව සමිදාණන් වහන්සේට ඉතා සමීපව දින කිහිපයක් ගත කිරීමට ඉඩ ප‍්‍රස්ථාව සලසා දී තිබෙනුයේ අවිවේකි බවින් යුතුව කාලය ගත කරන ජනතාවට සමිදාණන්ගේ විශ‍්‍රාමයට ඇතුළු විමට කරනු ලබන ඇරයුමක් ලෙසට ය.

මෙම ආරාම භූමියට ඒකරාශි වන ජනතාව වාර්ෂිකව සිදුකරන ඥාණකාන්ති හෝ සම්මේලන සඳහා සූදානම් වනුයේ කූඩාරම් සකස් කරගනිමිනි. ඒ ඒ සංඝයන් ලෙස කඳවුරු බැඳ ගනිමින් නේවාසිකව ගත කරන අවස්ථාවන් අපට සිහිගන්වන්නේ ඉශ්රායෙල් ජනතාව පොරොන්දු දේශය කරා ගිය ගමන ය. තම සංඝයන් ලෙස එකමුතුව යාච්ඤා කිරීමට මෙන්ම ආත්මීක ජීවිතය පෝෂණය කරගනිමින් අඛණ්ඩව සුදතුම් ගමනේ යෙදීමට වෙහෙසීම් හා පීඩාවන් මධ්‍යයේ ජීවත් වන විඩාබර ජනතාවට මෙම ආරාම භූමිය ක්ෂේම භූමියක් යැයි පැවසිය හැක.