කිතු දන පුබුදුව යනු හෙළ කිතුනු සභා මාතාව සුදත් හුස්මෙන් ජීව ගන්වන්නට දෙවි මහෝත්තමයාණන් වහන්සේ විසින් සභා මාතාවට දායාද කළ අනර්ඝ සම්පතකි. දෙවන වතිකාන මන්ත්‍රණ සභාවෙන් පසු සභාව පුරා හමා ගිය ශුද්ධාත්ම සුළගෙහි ආසියාතික පිබීදීමෙහි ඵලයක් ලෙස වර්ෂ 1971 වසරේ දිනක ලක් පොළො තලය තුළ ද මෙම බීජය වැටී පැළවෙන්නට ශුද්ධාත්මයාණෝ ඉඩ හළ සේක. ඒ සඳහා ශුද්ධාත්මයාණන් වහන්සේගේ දෑතෙහි උපකරණයක් ලෙස අප කිතු දන පුබුදු ආරම්භක පියතුමන් වන පූජක සිරි ඔස්කා අබයරත්න පියතුමන් යොදා ගත් සේක.

දෙවන වතිකාන කතිකාවතත් සමග ඇති වූ සභා නවෝදයෙහි ස්පර්ශය එංගලන්තය වෙත ගොස් සිටි, විදෙස් ගමනක දී ලද එතුමෝ එහි අක්මුල් තමන් සිත් හි දරාගෙන මෙරටට වැඩියහ. එවකට තරුණ ශිෂ්‍ය කතෝලික උපාධ්‍ය ලෙස සභා නිල පත්වීමක් එතුමෝ තමන් විදෙස්ගත ව සිටිය දී ලද අත්දැකීම ගිහි පිරිසකගෙන් සුසැදි කුඩා සංඝයක් හා බෙදාගත් හ. ඒ බෙදාගැනීම එතුමන් තුළින් නොනැවතී ගලා යන්නට වූ කල මේ මහා අත්දැකීම් ගංගාවෙහි කිමිදි පිරිස මේ රසය අන් අය හා බෙදා ගන්නට විය. කෙමෙන් කෙමෙන් නමක් නොමැති ව එහෙත් එක්තරා පිබිදීමේ දැක්මක් ඇති ව මේ පිරිස වර්ධනය වන්නට විය.

මේ අතර කිතුනු දහමෙහි වටිනාකම් ද දේශීයත්වය ද මේ ගමනට සාරෝපණය කළ පූජක ඔස්කා අබයරත්න පියතුමන් මේ මහා පිබිදීමේ අත්දැකීම, මෙම දේශයට විකල්පයක් ලෙස දුටු සේක. මේ විකල්පය එතුමන් තුළින් තනි පුද්ගලයෙකු ලෙස මෙරට තුළ ජනිත වන්නේ අප රට තුළ පැවති ජනයා පරිපීඩිත කළ සමාජ, ආර්ථික, දේශපාලනික දිවි පෙවෙතකට කිතු දහම තුළ එතුමන් දුටු විකල්ප සාමුහික දිවි පැවැත්මක් ලෙසිනි. උන්වහන්සේ නව දැක්මක් සහිත විකල්ප දිවි පැවැත්මක්, නව ආලෝකයක් හඳුන්වා දුන්හ. එය “කිතු දන පුබුදුව” නම් විය. එය වටා එක් වූ ජනසමූහයක් ඒ දිවි පැවැත්ම මහත් ආදරයෙන් වැළඳගත්හ.

“ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ස්වාමියාණෝ ය” යන්න ඔවුන්ගේ ජීවිත දර්ශනය විය. ක්‍රිස්තුන් වහන්සේ මූලික කරගත් පසු ‘අන් සියල්ල කුණු කසල’ ය යන දැක්මෙහි පිහිටා ලෞකීක ලෝකයේ වටිනාකම් වෙනුවට කිතුනු සාංඝීක ජීවිතයෙන් සැරසෙන්නට විය. ඒ අනුව පුබුදු වටිනාකම් පුබුදු සාරධර්ම පුබුදු සම්ප්‍රදායන් කෙමෙන් කෙමෙන් ගොඩනැගෙනන්ට විය. සභා ගුරුබලයට ද ජීවමාන සම්ප්‍රදායට ද අනුගත වෙමින් පුබුදු ඉගැන්වීම් සැකසෙන්නට විය. ලංකා කතෝලික සභාව තුළ පිබිදුණු ගිහියන්ගෙන් සමන්විත ජනතාවක් ගොඩනැගෙන්නට විය. ඒ ජනතාව ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තම දිවියේ අත්තිවාරම කරගනිමින් පුබුදු දර්ශනය සිය ජීවිත පැවැත්ම කරගත්හ.

තනි තනි පුද්ගලයන් පමණක් නොව ඔවුන්ගේ පවුල් ද ඔවුන්ගේ දරු මුණුපුරන් ද මෙම ගමනට ඇතුළු විය. එම දිවි පැවැත්ම තුළ ගමන් ගන්නා පවුල් එක්වීමෙන් සුවිශේෂක වටිනාකම් තුළ ජීවත් වන විකල්ප සමාජයක් බිහි විය. පවතින සමාජ රැල්ලට, දේශපාලන මතවාදයන්ට, ආර්ථික අර්ථ ක්‍රමයන්ට යට නොවී, එහෙත් ඒවාට අභියෝගයක් වෙමින් ක්‍රිස්තු වටිනාකමින් සැරසුණු ඔවුන් උඩුගම්බලා පිහිනා යමින් ක්‍රිස්තු ආකල්ප කිතු සසුන තුළ රෝපණය කරන්නට තම දිවි වැය කළහ. අධිපරිභෝජනවාදය වෙනුවට සරළ අල්පේච්ඡිත ක්‍රමයට දිවි ගෙවන්නට පටන්ගත් ඔවුන් සමාජයට ද රටට ද සැබෑ ජීවිත සාක්ෂියක් වූහ. කිතු දන පුබුදුව යනු ශුද්ධාත්ම බෞතිස්මය ලද මිනිසුන්ගේ සාමුහික ක්‍රියාවකි; වෑයමකි. ඒ ගැන ඔවුන්ට ඇත්තේ ද අභිමානයකි. කෙසේ වුව ද මේ මහා පිබිදීමේ ගමන අවබෝධ කරනොගත් අය ද නොසිටියා නොවේ. ඇතැම් ගතානුගතික සම්ප්‍රදායන් ම කරපින්නාගත් ගිහියන්ට ද, සමහර විටෙක පියතුමන්ලාට පවා මෙම පිබිදුණු ගිහි ව්‍යාපාරය කිසිසේත් ම තේරුම් ගත නොහැකි විය. එහෙත් ඔවුන්ගෙන් එල්ල වන ලද ගැරහුම්, පීඩා, බාධක මේ සුදතුම් ගමන ඉදිරියට යන්න තව තවත් අත්වැලක් වූවා මිස කිසි විටෙක බාධාවක් වූයේ නම් නැත.

කිතු දන පුබුදුව සිය ගමන්මගේ දශක පහක සංවත්සැරිය පසුගිය 2021 හි උත්සවශ්‍රීයෙන් පවත්වන ලද අතර තවදුරටත් ශුද්ධාත්මයාණන්ගේ රිද්මය තුළ අලුත් වෙමින්, පණ ගැහෙමින් අභීත ව සමිඳුන් අතගෙන ගමන් කරන්නී ය. කිතු දන පුබුදුව ශුද්ධාත්ම ව්‍යාපාරයකි. දේව වචනයේ ව්‍යාපාරයකි. යාච්ඤාවේ ව්‍යාපාරයකි. මරිමව් ව්‍යාපාරයකි. පිබිදුණු ගිහි ව්‍යාපාරයකි. ධ්‍යානපර අපෝස්තලික ව්‍යාපාරයකි.

පසුගිය වසර 50ක් පුරා කිතු දන පුබුදුවෙහි ගමන් මග එහි ව්‍යූහය සහ සංයුතිය, දැක්ම හා මෙහෙවර ද සේවාවන් හා ජන ජීවිතය ද පිළිබඳ කෙටි සාරංශයක් ගෙන ඒම මෙහි අරමුණයි.