කිතු දන පුබුදුව පනස් වසරක් සපුරන අවස්ථාවේ දී පුබුදු මව් අංශය පිළිබඳ සටහන් කරනුයේ ශුද්ධාත්මයාණන් විසින් පුබුදු මව්වරුන් මෙතෙක් ගෙන ආ ගමන පිළිබඳ අබ්බා දෙවි පියාණන් වහන්සේට තුති පුද කරමිනි.

පුබුදු සාමාජිකයන් අතර වැඩි ම පිරිස මව්වරුන් බව අවිවාදිත ය. එම මව්වරුන් ‘මව් අංශයක්’ ලෙස ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ 1978 වසරේ දී ය. ‘සේවිකා එකතුව’ වශයෙන් හැඳින්වුණ මව්වරුන්ගේ එකතුවක් සයවන පාවුලූ මධ්‍යස්ථානයේ පස්වන මහලේ දී ඇරඹුණේ, අප ආදර ස්වාමි තාත්තාගේ අනුශාසකත්වයෙනි. එය එක්තරා ආකාරයකින් මූලික කණ්ඩායමක් වශයෙන් හැඳින්වුව ද එහි වරදක් නැත.

මසකට වරක් පැවැති එම එකතුවට සම්බන්ධ මව්වරුන් මඟින්, කිතු දන පුබුදුවට ඇතුළත් වූ මව්වරුන් හට පුබුදු දිවිය අඛණ්ඩ ව පවත්වාගෙන යාමට මඟපෙන්වීම් හා දිරි ගැන්වීම් ලැබුණි.

සීමිත පිරිසක් සහභාගී වූ සේවිකා එකතුව පුළුල් වෙමින් එම කාර්යය සැලසුම් සහගත ව සිදුකිරීම සඳහා විවිධ ප‍්‍රදේශ නියෝජනය වන ලෙසට තෝරා ගත් මූලික මව්වරුන් පිරිසකගේ එකතුවක් පැවැත්වීම ඇරඹුණු අතර, සියලූ ම පුබුදු මව්වරු මව් අංශය වශයෙන් හැඳින්විණි. මසකට වරක් එම මූලික පිරිස රැස්වූ අතර එහි දී මව්වරුන් සඳහා විශේෂ වූ ඉගැන්වීමක් ස්වාමි තාත්තා විසින් දෙනු ලැබිණි. එය අනෙකුත් පුබුදු අත්දැකීමට සම්බන්ධ සියලූ මව්වරුවන් වෙත පහළට ගලා ගියේ එම මූලික කණ්ඩායමේ සිටි මව්වරුන් මඟිනි.

විවිධ ප‍්‍රදේශ කරා සුපුවත ගෙන යාමට ක්‍රියාකාරී ව ඉදිරිපත් වූ ඇතැම් මව්වරුන් බිබිල, නුවරඑළිය, පුත්තලම වැනි දුරස්ථර ප‍්‍රදේශවලට පවා සුපුවත රැගෙන ගියේ විවිධ බාධක, දුෂ්කරතා මැදිනි. ඔවුන්ගෙන් ඇතැමෙක් අද ජීවතුන් අතර නොමැති වූවත් අප ඔවුන් අගය කළ යුතු ම ය.

කලින් කලට මව් අංශය සඳහා මූලිකත්වයන් ස්වාමි තාත්තාගේ අනුමැතියෙන් පත් වූ අතර, මූලිකත්වයට සහය වීම සඳහා ‘මව් මූලික එකතුව’ යනුවෙන් කුඩා කණ්ඩායමක් ද විය. මේ වෙත් දී එම එකතුව හැඳින්වෙනුයේ ‘මව් සහයක එකතුව’ යනුවෙනි.

ක‍්‍රම ක‍්‍රමයෙන් පුබුදුව ව්‍යාප්ත වෙත් දී පුබුදු දිවියට එක්වන මව්වරුන්ගේ සංඛ්‍යාව වැඩි වූ අතර, ප‍්‍රථම වරට එම මව්වරුන් සියල්ලන් ඒකරාශි කරමින් පළමු ‘පුබුදු මව් රැළිය’ 1980 සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේ දී පවත්වනු ලැබිණි. ‘ඔබගේ කැමැත්ත සිදුවේවා’ යන තේමාව යටතේ පැවති එම රැළියට 6000 පමණ වූ මව්වරුන් පිරිසක් සහභාගි වූහ.

මරිය තුමිය දේව කැමැත්ත හා බැඳි එතුමියගේ ජීවිතය තුළින් සභා මාතාවට දායාද කර ඇත්තේ ඉතා වටිනා ත්‍යාගයකි. එනම් එතුමියගේ ජීවිත අත්දැකීමයි. දේව මාතාවන් පෙරදැරි කරගත් ආධ්‍යාත්මික ව්‍යාපාරයක් වශයෙන් කිතු දන පුබුදුව තුළ දේව මාතා වහන්සේට සුවිශේෂ තැනක් හිමි වෙයි. පුබුදු මව්වරු එතුමිය පරමාදර්ශය කරගෙන ජීවත් වීම තම කැඳවීමේ කොටසක් ලෙස දකිති. එදා භාග්‍යවන්ත දේව මාතාවන්ට මංගලම් කීමේ අවස්ථාවේ දී ‘ඔබගේ කැමැත්ත සිදුවේවා’ යනුවෙන් දේව කැමැත්තට හිස නැමූ එතුමිය දුන් පිළිවදන, තම ජීවිත අත්දැකීමක් කර ගැන්මට එදා එම රැළියේ දී මව්වරුන් හට මඟපෙන්වනු ලැබිණි.

පුබුදු මව්වරුන් මේ දක්වා මව් රැළි කිහිපයක් ම පවත්වා ඇත. ඒ ඒ රැළි සඳහා තේමාවක් තෝරාගන්නා අතර එය මුල් කරගත් තේමා ගීතයන් ද වෙයි. වත්මනෙහි පවතින තත්ත්වය හමුවේ මාස් පතා පැවති එකතු සඳහා එක්වීමට නොහැකි වූවත්, මව් සහයක එකතුව විසින් සැම මසක ම මව්වරුන් සඳහා සකස් කෙරෙන ‘මව් සුපුවත’ මව්වරුන් වෙත ලබා දීම සඳහා පියවර ගෙන ඇත.

කිතු දන පුබුදුවේ විවිධ ක්ෂේත‍්‍රවල මව් අංශය බද්ධ ව පවතියි. ශාරීරික පෞරුෂය මෙන් ම ආධ්‍යාත්මික පෞරුෂය තුළින් ඔවුහු පුබුදුව ශක්තිමත් කරති. අදටත් එය එසේ ම ය.

"මිහි දෙරණේ මහ වංශ කතාවේ
විශ්මිත පුදුමයෙ සදා මවයි දෙව් අම්මා
අලූත් ගිවිසුමක් දොරට වඩන සඳ
එතුම් වදන් වැල ගයමි මෙසේ මම
නිති හිස නම්මා"

දුබල මව්වරුන් ප‍්‍රබල කරමින් රැගෙන යන්නා වූ ශුද්ධාත්මයාණෙනි, ඉදිරියටත් ඔබ වහන්සේ අප මව්වරුන් ශක්තිමත් කරමින් රැගෙන යන නිසා ඔබ වහන්සේට ප‍්‍රශංසා වේවා!