ශ්‍රී ලංකාවෙහි දස දහස් ගණන් ජනතාවගේ ජීවිත හරහා ශුද්ධාත්මයාණන් විසින් සිදු කරන මහත් කාර්යයන් ඔබත් සමඟ බෙදා ගන්න ලැබීමත් මොන තරම් ප්‍රීතියක් ද? ඔව්!

අප වැඩිහිටි වගේම තරුණ පිරිස් ලෝකෝත්තරවූ අදෘශ්‍යමානවූ යථාර්ථයාණන් වන දෙවි මහෝත්තමයාණන්ව අත්වින්ද අත්දැකීම් ඔබත් සමඟ බෙදා ගැනීමට ඔවුන් මින් ඔබට මුණ ගැසේවි. එය ඔවුන්ගේ දෑසින් වත්, මනසින්වත් දුටු දෙයක් නොවේ. අහ්‍යන්තර ඇස නැමැති තුන්වන ඇසින් දුටුවක්. එම අත්දැකීම් රාශියක් ඔවුන් ඔබත් සමඟ බෙදා ගනීවි. ඔවුන් මතුපිට ඇසින් දකින බලයත් සොභා සුන්දරත්වයත් එම ශුද්ධාත්මයාණන්ගේ පහස ලබා අභ්‍යන්තර ඇසින් දකිත්දී, රොටියක් - පාන් පෙත්තක් වැනි පූපයක් දිව්‍ය සත්ප්‍රසාදය බවත පත්වුනු අයුරු දකිමින් මහත් හැඟීමකින්, "මෙන්න - ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරය!" කියා පවසාවී. යමෙක් ඉවුන්ගේ හිස මත අත තබා යදිත්දීත්, නළල මත සළකුණක් කරත්දීත්, ඒ අය ජේසුස් වහනසේගේ දෑතිනවි; පහස ලබන අයුරු දකීවී. සැමියෙක් බිරිඳක් අතර පවතින විවාහක ප්‍රේමය වැනි ශුද්ධවූ ත්‍රිත්වයේ උතුම්වූ ප්‍රේමයේ අත්දැකීම් රැසක් ඔවුන් ඔබට පවසාවි. අප සදාතනික පියාණන් විසින් දේව පුතා වෙත දානය කරන්නාවූ ප්‍රේමය ගැනත්, ඒ දේව පුතා විසින් ප්‍රේමය ලබා, පෙරළා පියාණන්ට පිළිගන්වන ප්‍රතිචාරක ප්‍රේමය ගැනත්, ඔවුන් ඔබට අත්දැකීම් පවසාවි. ඒ පිය-පුත් අන්‍යෝන්‍ය සබැඳියාවෙන් බැඳුනු ප්‍රේමයකින් ප්‍රකාශවන ශුද්ධාත්ම ප්‍රේමයාණන් වත් ඔවුන් ඔබට හඳුන්වා දේවි.

පුබුදුව ඇරැඹුනේ 1971 දීය. එවකට අගරදගුරු තුමන් වූ අති උතුම් තෝමස් කුරේ කාදිනල් තුමන්වත් එතුමන්ගේ ත්‍යාගශීලී අතහිත දීමත් අද අප සිහිපත් කරන්නේ මහත් කෘතවේදී ගෞරවාදරයකිනුයි. පුබුදුව යමෙකු විසින් ආරම්භ කළේ වත්, ගොඩනැඟුවේවත් නැහැ. එය අනායාසයෙන් සිදුවූ සිද්ධියක්. මෙම සිද්ධිය ශ්‍රී ලංකා සිය දහස් ගණන් කතෝලිකයන්ගේ ජීවිතයන් තුළ මහත් පෙරළියක්, විප්ලවයක් ඇති කරන්නට සමත් වුනා. එය අදත් සිදුවෙමින් පවතිනවා. එම අඛන්ඩ විප්ලවයෙන් මෙතෙක් පැවිදි ආරාමයන් තුළ බිත්ති හතරට සීමාවී පැවැති, ධ්‍යානපර යාච්ඤාවේ අත්දැකීම, හුදු ලෞකික-භෞතික ලොවටට බරව ජීවත් වන ඉතා සාමාන්‍ය කතෝලික ජනතාව පවා වැළඳගෙන අත්දකින යැදුමක් බවට පත්ව පවතිනවා.

ශුද්ධවූ බයිබලයත්, ශුද්ධවූ සක්‍රමේන්තු සතත්, ජනතාවගේ එදිනෙදා ජීවිතයට අත්දැකීමක් කරන්නට පුබුදුවට හැකියාවක් ලැබුණා. එය අදත් සිදුවෙමින් පවතිනවා. එහෙත් කතෝලිකන් අතර හුදු බුද්ධියෙන් පිරී පැවතුනු ඥානෝපදේශ විශ්වාසය, ජීවමාන උද්යෝගීමත් ඇදහිල්ලක් බවට පත්වුනා. ජීවිතයේ මුහුණ පාන කුමන සිද්ධියක් වේවා, ලෞකික - භෞතික, සාර්ථක - අසාර්ථක කුමක් වේවා, අපේක්‍ෂා භංගත්වයට වැටීමක්, සතුටුදායක මෙන්ම ඛේදජනක අවස්ථාවක් - මරණයක් වේවා, ඒ සියල්ලේදීම සක්‍රමේන්තු අගයකින් දෙවියන් වහන්සේව අත්දකින ඇදහිල්ලකට, අප කතෝලික ඇදහිල්ල උසස් වූවා.

ශුද්ධවූ සභාව තුළ සිදුවෙමින් පවතින පිබිදීමේ කාර්යය හමුවේ, පුබුදුවත් කොටස් කරුවෙක්. අළුත් ගිවිසුම ලේඛන ගත කළ අවස්ථාවේ සිට ගෙවුනු වසර දෙදහස පුරා, ශුද්ධාත්මයාණන් විසින් ශුද්ධවූ සභාවට අනාවරණය කළ ජීවමාන සම්ප්‍රදායන්, ශුද්ධවූ සභාව සමඟ පුබුදුවත් භුක්ති විඳිනවා. එමෙන්ම ඇතැමුන් මෙන් ශුද්ධ ලියවිල්ලට පෞද්ගලික අර්ථකථනයන් දීමෙන් වැළකෙමින්, අප පුබුදුව ශුද්ධවූ කතෝලික සභා මවගේ ගුරුබලයට, කීකරුකම පිදීමේ ප්‍රතිපත්තිමය ස්ථාවරයක දැඩිව බැඳී - රැඳී සිටිනවා.

පුබුදුව, වත්මන් දැඩි ආත්මාර්ථකාමී පාරිභෝගිකවාදී පීඩාකාරී පාපිෂ්ට සමාජ ව්‍යුහයන්ට විරෝධීව, දේව රාජ්‍යයෙහි වටිනාකම් පතා අභියෝග කරන දේව ජනතාවක් යැයි කිව යුතුය. විදෙස් ගතව ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ, ඉනුත්, මැද පෙරදිග සේවයෙහි නියුක්ත ගෘහ සේවිකාවන් ඇතුළු අනෙකුත් සේවකයන්ගේ, අධ්‍යාත්මික පැවැත්ම සඳහා පුබුදුව තම සේවය සළස්වනවා.

එමෙන්ම අප ජේසුස් වහන්සේ සාකෂි දරමින් ප්‍රකාශ කළ, විග්‍රහ කළ, ප්‍රේමයේ දේව රාජ්‍යය අරමුණ කරගෙන සාක්ෂි දරන පුබුදුව, බුදු දහම ප්‍රමුඛ ලොව ප්‍රධාන ධර්මයන්ගෙන් පොහොසත් අප දේශයෙහි, වසර 2500 ක් ඉක්මවා පවතින සංස්කෘතික උරුමයන් කැපවීමකින් යුතුව රැකගන්නට වගකීම දරනවා.

ජනතාවගේ ජීවිත අත්දැකීම් මඟින් ඔබ වෙත විමුක්තිදායක ආදරණීය දේව වචනයක් ඉදිරිපත් කිරීම, අපගේ වෙබ් අඩවියේ අපේක්ෂාවයි. ඒ සඳහා මෙම වෙබ අඩවිය පරිහරණය කරන්නට මා ඔබට ආරාධනය කරනවා. මාංශවත් වූ වචනයාණන් වූ ජේසුස් වහන්සේ තුළින් අප සමඟ ශුද්ධාත්මයාණන් බෙදා ගන්නා වූ සදාතනික පියා‍ණෝ පරම සත්‍යය කරා අපව රැගෙන යන සේක්වා! සමිඳාණන් වහන්සේ අදත් දැනුත් සදහටමත් ඔබ සමඟ වෙත්වා!

ආමෙන්.

පූජක සිරි ඔස්කා අබයරත්න පිය
නිර්මාතෘ
කිතු දන පුබුදුව
2003/08/30