උත්ථාන වූ ජේසුස් ක‍්‍රිස්තුන් වහන්සේ ව හමුවීම කිතුනු ජීවිතයේ මූලික අත්දැකීමකි. ශු. පාවුලූ තුමාගේ ජීවිතය පිළිබඳ ව හැරී බලන විට පෙනෙනුයේ, උත්ථාන වූ ජේසුස් ක‍්‍රිස්තුන් වහන්සේ ව හමුවීම පාවුලූ තුමාගේ ජීවිතයේ පූර්ණ පරිවර්තනයක් අත්දුටු මොහොතක් බව ය. එය එතුමන්ගේ ජීවිතයේ නැවත ඉපදීමකි. ජුවාම් සුවිශේෂයෙහි අපට හමුවන නිකදේමුස් හට ජේසු සමිඳාණන් පැවසුවේ "යමෙකු වතුරෙන් ද ආත්මයාණන්ගෙන් ද නූපන්නොත්, ඔහුට ස්වර්ග රාජ්‍යයට පිවිසිය නොහැකි ය" (ශු. ජුවාම් 3:5) යනුවෙනි. මෙලෙසින් බලන විට මිනිසෙකුගේ ජීවිතයේ මිහි උපත සුවිශේෂි දිනයක් වනුයේ යම් ලෙස ද එලෙස ම කිතුනු විශ්වාසිකයන් හට නැවත ඉපදීම ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයකි.

කිතු දන පුබුදු සමස්ත ව්‍යාපාරයෙහි මෙන් ම, පුබුදු තරුණ කැල තුළ ද දැකගත හැකි විශේෂත්වය වනුයේ ද උත්ථාන වූ සමිඳාණන් වහන්සේ ව හමුවීම හා ශුද්ධාත්ම ස්නාපනයේ ප‍්‍රතිඵලයක් ලෙස නැවත ඉපදීම ය. මෙහි ප‍්‍රතිඵලය වූයේ ආත්මයාණන් වහන්සේගෙන් නැවත උපදින තරුණයන් බවට පත්වීම ය. මෙම අත්දැකීම ලැබූයේ සිද්ධාන්ත හෝ න්‍යායන් කරණකොටගෙන සිදුවන වැඩපිළිවෙලක් පදනම් කරගෙන නොවේ. එය එක් එක් පුද්ගලයාගේ ජීවිතයේ සිදුවන, ඇතුළාන්ත අත්දැකීමක ප‍්‍රතිඵලයකි. කිතු දන පුබුදුව නම් ගිහි අපෝස්තලික ව්‍යාපාරයේ ආරම්භයට මූලික වූයේ ද උත්ථාන වූ ජේසුස් ක‍්‍රිස්තුන් වහන්සේ ව හමුවෙමින් ශුද්ධාත්ම ස්නාපනය අත්දුටු තරුණ තරුණියන්ගෙන් වීම විශේෂ ය. එම නිසා ම මෙහි ආරම්භය සැකෙවින් මෙසේ ඉදිරිපත් කරමු.

1967 කොළඹ අගරදගුරු පදවියේ තරුණ ක‍්‍රිස්තියානි, කම්කරු හා ශිෂ්‍ය ව්‍යාපාරයන් හි හා පොදු තරුණ කටයුතු සඳහා අධ්‍යක්ෂක පියතුමා වශයෙන් ගරු සිරි ඔස්කා අබයරත්න පියතුමා (අප ආදර ස්වාමි තාත්තාව) පත් කිරීමත් සමඟ ප‍්‍රබල කිතුනු ගිහි නායකත්වයක් ගොඩනැගීමේ අරමුණින් තරුණ, තරුණියන් රැස්කරගෙන සංවිධානගත වුණි. එවකට රටේ පැවති දේශපාලනික, ආර්ථික හා සාංස්කෘතික තත්ත්වයන් තුළ පීඩා විඳින, රැකියාවන් හි නියුතු හා විරැකියාවෙන් පෙළෙන, අරමුණක් නොමැති තරුණ ජීවිත ආලෝකමත් කරන්නට එතුමන් තුළ පැවති දැක්ම දිගහැරෙන්නට පටන්ගන්නේ ද මෙම යුගය තුළ දී ම ය. 1968 අගෝස්තු මස, "අගරදගුරු පදවි සම්මේලනය" නමින් පැවති මහා තරුණ සමුළුවෙන් අනතුරු ව සංවිධානයක් වශයෙන් යම් සංවිධාන ව්‍යුහයකට කොටු නොවූ, කිතු සමිඳුන් තම තරුණ ජීවිතයේ කේන්ද්‍රකොටගත් "තරුණ ව්‍යාපාරය" නමින් තරුණ සංවිධානයක් බිහිවිය. මෙය කිතු දන පුබුදු තරුණ අංශයේ උපත ලෙස දැක්විය හැකි ය.

සඳුදා දිනයන් හි හා අවශ්‍ය විටෙක සතියේ අනෙකුත් දිනයන්හි දී ද කොළඹ කොටුව මල්වත්ත පාර පැරණි දේවස්ථානයේ රැස්වීම් පවත්වන ස්ථානය බවට පත් විය. එහි දී දිළින්දා පීඩාවට පත්කරන සමාජ විරෝධි, ක‍්‍රිස්තු විරෝධි පීඩාවන් වෙත ක‍්‍රිස්තු දේශනා හා ක‍්‍රියාකාරකම් පදනම් කරගෙන සාකච්ඡුාවන් පැවැත්වුණි. නත්තල, පාස්කුව හා ගමේ දේවස්ථාන මංගල්‍යයට, එම උත්සවයෙහි අරුත්බර බව මතුකර සමුළු පැවැත්වීම, සිංහල හා හින්දු අළුත් අවුරුදු උත්සව සංවිධානය කිරීම, ගමේ ශ‍්‍රමදාන හා විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන්ට ස්වයං රැකියා උත්පාදනය කිරීම් යනාදිය නිසා තරුණ ජීවිතවල අරුණළු පීදෙන්නට විය. මෙලෙසින් පියතුමා ඉදිරිපත් කළ දැක්ම වටා තරුණ තරුණියන් රැස් වන්නට පටන් ගත්තේ ය. මෙහි ප‍්‍රතිඵලය ලෙස ආධ්‍යාත්මික මෙන්ම සමාජ, ආර්ථීක, දේශපාලනික හා සාංස්කෘතික ක්ෂේත‍්‍රයන් පිබිදෙන්නටත්, පුද්ගල ජීවිත ඵලදරන්නටත් විය.

එවකට රටේ පැවති තරුණ කැරැල්ල හා පියතුමා විදේශගත වීමේ ප‍්‍රතිඵලය ලෙස නොසිතු මොහොතේ අත්දුටු ශුද්ධාත්ම ස්නාපනයක් සමඟ 1971 ජූලි මස 17 දින සිරි ලක් දෙරණට පා තැබීමත් සමඟ මුළු ලක් දේශය පුරා ශුද්ධාත්ම අරුණළු උදාවූයේ තරුණ තරුණියන් අතර පැවති සම්බන්ධතා ජාලය කේන්ද්‍රකර ගනිමිනි. මෙම පිබිදීමේ අත්දැකීමට පිවිසීමේ කථාමාලාව ලෙස දිගහැරුණු ක‍්‍රිස්තියානි ජීවිතය පිළිබඳ ව අනාවරණ 8 කින් සමන්විත වූ කථා මාලාව හා ගැඹුරු මෙහෙය ලෙස හැඳින්වූ දින දෙකකින් යුත් පශ්චත්තාපයේ හා එතෙරවීමේ මෙහෙය මූලික අඩිතාලම සැපයී ය. තරුණ ජීවිතවල ඇති වූ මෙම පිබිදීම ඔවුනට පමණක් සීමා නොකර දෙමාපියන් සොයුරු සොයුරියන් හා කුඩා දරුවන් සමග ද බෙදාගන්නට පියවර තැබුවේ ය. එදා පටන් අද දක්වා කිතුනු ජනතාව පුබුදුවන්නට පුබුදු තරුණයන් පෙරමුණ ගත්තේ ය.

පවතින සමාජ රැල්ලට යට නො වී උඩුගං බලා පිහිනීමට තරුණයන් නිතර ම කටයුතු කළේ, තමන් අත්දුටු ජීවිත අත්දැකීමේ ප‍්‍රතිඵලය කරණකොටගෙන ය. එවකට රටේ පැවති ආර්ථික තත්ත්වය හමුවේ තම දූවරුන් විවාහකර දීම දෙමාපියන්ට විශාල අභියෝගයක් විය. මීට ප‍්‍රධානත ම හේතුව වූයේ විශාල දෑවැද්දක් ලබාදීමට සිදුවීම ය. දිළිඳු, අසරණ පවුල්වල ජීවත් වූ තරුණියන් කල වයසට විවාහ නොවී තනිකඩ ජීවිත ගත කරන අය බවට පත් විය. මෙම ප‍්‍රවණතාව දවසින් දවස වර්ධනය විය. ක‍්‍රිස්තු දැක්මට පටහැණි මෙම ක‍්‍රියාව දුටු පුබුදු තරුණයෝ දෑවැදි නොගෙන විවාහ වීමට පියවර ගන්නා ලදී. එපමණක් නොව බටහිර සාංස්කෘතික විවාහ ක‍්‍රමයට අභියෝගයක් ලෙස හෙළ සිරිතට අනුව තම විවාහ මංගල දිව්‍ය පූජෝත්සවය සිදු කරන ලදි. කිතුනුවන් හට විවාහ මංගල්‍යයේ උතුම් මොහොත දිව්‍ය පූජෝත්සවයයි. ඒ අනුව දිව්‍ය පූජෝත්සවය විවාහ මංගල්‍ය එක ම උත්සවය ලෙස ඔවුන් සලකනු ලැබී ය. ජාතික ඇඳුමෙන් සැරසී පැමිණෙන මනාල යුවල හුවමාරු කරගනු ලැබුයේ සුදු යකඩින් තැනූ මුදු යුවලක් වීම ද විශේෂ ය. දේශීය ආහාරයෙන් වර්ණවත් වූ කෑම මේසය දිව්‍ය පූජා යාගය අවසානයේ දී සියල්ලන් සමඟ බෙදාගනු ලැබූයේ ගැඹුරු එකමුතුකමේ හා සාංඝීකත්වය අත්දැකීමේ මොහොතක් ලෙස ය. විවාහ වීමට දැවැදි, රන් ආභරණ ප‍්‍රිය සම්භාෂණ සාදයන් මෙන් ම විවාහ උත්සවය වටා ගෙතී තිබූ පුහු ආටෝප අවශ්‍ය නොවන බව අවදිකරන්නට මෙලෙසින් පුබුදු තරුණයන්ට හැකිවිය.

එලෙස ම රට ගැන සිතන්නට, අපේකම අගයන්නට රටේ සංස්කෘතිය ආරක්ෂා, කරගනිමින් කටයුතු කරන්නට, දේශපාලනික ක්ෂේත‍්‍රයන් පිළිබඳ අවදි වන්නට, පරිසරයට ආදරය කරන්නට පුබුදු තරුණයන් නිතර ම සුසර වී සිටියෝ ය. ඒ සඳහා රටේ සිටින සෙසු ජනතාව පෙළගස්වන්නට අත් පත‍්‍රිකා, උද්ඝෝෂණ, පා ගමන්, සම්මන්ත‍්‍රණ, නාට්‍ය හා විවිධ ක‍්‍රියාකාරකම් උපයෝගී කර ගත්තෝ ය. විටෙක ජනමාධ්‍යය හරහා රටේ සංස්කෘතිය විනාශ මුඛයට ඇද දමන විවිධ වැඩසටහන්වලට ඍජු ව රටේ සිටින සියලූ ජනතාව සහභාගි කරගනිමින් විරෝධය ප‍්‍රකාශ කිරීමට පුබුදු තරුණයන් එදා මෙදා තුළ පෙරමුණ ගත්හ. රටේ දේශපාලන අධිකාරිය ගන්නා තීන්දු තීරණ පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් හඬක් නගන්නට ද පුබුදු තරුණයන් පසුබට නොවී ය. ස්වාමි තාත්තා බෙදාගත් දැක්ම තුළ පක්ෂ දේශපාලනයක් නො වී ය. සමාජ යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීමටත්, රටේ පැවති තත්ත්වය හමුවේ සෙසු ජාතීන් මෙන් ම සෙසු ආගමික ජනකොටස් සමඟ සහයෝගයෙන් ක‍්‍රියාකිරීම හමුවේ ජාතිවාදයෙන්, ආගම් වාදයෙන් තොර ව එක ම රටක ජීවත්වන ආදර්ශය පුබුදු තරුණයන් තම ජීවිත සාක්ෂියෙන් පෙන්වී ය. එලෙස ම ආසියා මහද්වීපයට ම ආවේණික අප රටේ ද අතීතයේ සිට ම ජීවත්වීමට හුරු ව සිටි සරල අල්පේච්ච ජීවිත රටාවට ජනතාව නැවත කැඳවාගෙන යෑමේ හොරණෑවක් වීමට පුබුදු තරුණයන් පියවර නැගී ය.

යුගයෙන් යුගය පුබුදු තරුණයන් දේව හඬට සවන් දෙමින් තම ආධ්‍යාත්මික පෝෂණයට යොමු වීමේ ප‍්‍රතිඵලය ලෙස එදා මෙදා තුළ තම ජීවිත සාක්ෂියෙන් සාක්ෂි දැරීමට ඔවුන් හට හැකිවිය. මෙහි දී තම ආධ්‍යත්මික පෝෂණය සඳහා පුබුදු ආධ්‍යාත්මිකත්වය තුළ ලබාදෙන අතදීම් හා මඟපෙන්වීම් වලට අමතර ව තරුණයන් ලෙස සතිපතා ඒකාරාශි වෙමින් දෙවි මහෝත්තමයාණන් ප‍්‍රශංසා කරමින් ද දේව වචනය මෙනෙහි කරමින් හා තම ජීවිත බෙදා ගැනීමට අවස්ථාව සලසාගනු ලබන තරුණ හමුව (එම්මාවුස් එකතුව) සඳහා තරුණයන් යොමු වූයේ ජේසුස් ක‍්‍රිස්තුන් වහන්සේ ව හමුවීමේ අවස්ථාවක් බවට එම මොහොත පත්වන බැවිනි. රැකියාව නිසා ශාරීරික ව තෙහෙට්ටුව අත්දුටුව ද වෙනත් ප‍්‍රශ්න නිසා මානසිකව පීඩාවට පත්වුව ද ඒ ඒ අවධීන් තුළ අත්දකින ජීවිත ප‍්‍රශ්න නිසා ආත්මික ව දුර්වල වුව ද තම පෞද්ගලික ජීවිත බෙදා ගැනීමට යොමුවන එෙඬ්රික මගපෙන්වීම් මෙන් ම පුබුදු ඇතුළතුන් ලෙස තම ජීවත්වන සංඝයන් තුළ සිටින මව් - පිය වරුන්ගෙන් ලැබෙන රැකවරණය මෙම ගමන අඛණ්ඩ ව යෙදීමට මහත් වූ පිටුවහලක් සැපයී ය. එලෙස ම මාසික තරුණ හමුවන්, වාර්ෂික ව සිදුකරන තරුණ සම්මේලන හා ඥානකාන්ති ද සෙසු තරුණයන්ට ද අලූත් උපතක අත්දැකීම තෑගි කරනු ලබන අවස්ථාවන් ලෙස පෙන්වා දිය හැකි ය.

මෙලෙස පුබුදු ජීවිතය ගතකරනු ලබන තරුණයන් දිනපතා තම පෞද්ගලික යාච්ඤාව (මගේ පැය) හා දේව වචනය කියවීමට යොමුවන බැවින් ශුද්ධවූ බයිබලයට ලැබෙනුයේ විශේෂ තැනකි. මේ නිසා ම පෞද්ගලික ව ශුද්ධ බයිබලයක් පරිහරණය කරන තරුණයන් බවටත්, දේව වචනයේ බලය අන් අය සමඟ බෙදාගනු ලබන තරුණයන් බවටත් ඔවුන් පත් වූයේ තම ජීවිතවල අත්දුටු දහසකුත් වහල්භාවයන් ගෙන් නිදහස් වීමේ ප‍්‍රතිඵලය ලෙසට ය. එබැවින් පුබුදු තරුණ තරුණියන් තම ජීවිත සාක්ෂිය හඬගා ප‍්‍රකාශ කිරීමේ මොහොතක් බවට කිතු දන පුබුදු පනස්වන ස්වර්ණ ජයන්තිය සැමරීමේ මොහොත උදා කරගන්නට යෙදුණි. මේ අනුව ශු. බයිබල් 50,000 ක් කිතුනු ජනතාවගේ සුරතට පත් කිරීමට නායකත්වය ගෙන ක‍්‍රියාකිරීමට මෙම යුගය තුළ දී අප හට අවස්ථාව උදා වී ඇත. මෙලෙස මුළු මහත් පුබුදු ජනතාව වසර පනහක් පුරා රැගෙන පැමිණි ගමන් මග වෙනුවෙන් දෙවි සමිඳාණන් පසසන අප, තවත් යුගයට පුබුදු ජීවිත ගමන තෑගි කිරීමට තරුණයන් ලෙස අපගේ ජවය හා ශක්තිය දෙමින් දේව රාජ්‍යයේ කෙත අස්වැද්දීමට නිරතුරු කැපවෙමු.