කිතු දන පුබුදුවේ ආරම්භයත් කලා සේවාවේ ආගමනයත් එකට එක් ව අත්වැල් බැඳ පැමිණියා මිස එකිනෙකට වෙන්වූවක් හෝ පසු ඇතිවූවක් නොවේ. ශ්‍රී ලාංකීය කතෝලික ශාසන ඉතිහාසයේ ඈත සහ මෑත කාලයන්හි සිටි ගරු ජාකෝමේ ගොන්සාල්වෙස් පඬිවරයාණන්, ගරු මර්සලින් ජයකොඩි පියතුමා හා අර්නස්ට් පෝරුතොට පියනම ඇතුළු පියවරු කිතුනු ආධ්‍යාත්මිකත්වය යුරෝපීය සංස්කෘතිය හා බටහිරකරණය සමඟ සුසැඳි පිළිවෙත් මුසු වූ කලාව දේශානුරූපි ව මාංශගත කිරීමට වෙර දැරූ වෑයමට අත්වැලක් වෙමින් කිතු දන පුබුදුව ද කතෝලික ලීලාවෙන් සිරිලක් දේශයට අනන්‍ය වූ කලාවක් හා සාංඝික වූහ.

පුබුදු කලා සේවාවේ අමතක කළ නොහැකි පුරෝගාමින් දෙදෙනෙක් විය. පුබුදු බසින් කීර්ති තාත්තා (චන්ද්‍ර කීර්ති කුලරත්න) ගී පබැඳුමෙන් ද, ඩෙනිස් තාත්තා (අයිවෝ ඩෙනිස් ශූරීන්) ඒ ගී සිය තනුවෙන් හැඩකරමින් ද පුබුදු ගමනට සවියක් දිරියක් වූ ‘පුබුදු ගීතාංජලිය’ හෙවත් පුබුදු ගීතාවලියට ඔවුන්ගේ නොම`ද නොමසුරු දායකත්වයෙන් රස ගැන්වූහ. එදා මෙදා තුර ඔවුන්ගේ මගපෙන්වීම යටතේ ගැයුමෙන් හා වැයුමේ පොහොණි වෙමින් ‘පුබුදු මියැසි කැල’ නොහොත් ‘පුබුදු සංගීත සේවාව’ ඔපවත් වී ඇත. එසේම ‘පුබුදු ඇසි-දිසි සේවාව’ සේවාව මගින් එකී ගී ශ‍්‍රවණ පටියේ සිට සංයුක්ත පට දක්වා යුග ගණනාවක් පුරා පුබුදු ජනතාව වෙත මේ මියැසි රාවය ගෙන එන්නට සමත් වූහ. අද වන විට ගීතිකා ශ‍්‍රවණ පට ගණනාවක් නිකුත් කර ඇත. පුබුදු ගීතාංජලිය පුබුදු ගීතිකා 500කින් සමන්විත වී ඇති අතර ඉන් ගීතිකා කිතුණු ගී අංක 1 හා 2 පොත් හි අන්තර්ගත ය.

කිතු දන පුබුදු ජය සක්රාවය

ගීතිකාවෙන් පමණක් නොව ජන වන්දනාව වඩා ගාම්භීරත්වයෙන් හා අලංකාර ව ජනයා අතරට ගෙන ඒම සඳහා පංචතූර්ය රිද්මයට තාල සැපයූ හේවිසිය, ගැට බෙරය, තම්මැට්ටම, දවුල, හොරණෑව, තාලම් පට ලක් කිතුනු සබයට කැඳවා ලූ ප‍්‍රථම කිතුනු හේවිසි කණ්ඩායම ‘කිතු දන පුබුදු ජය සක්රාවය’ නම් විය. එදා මෙදා තුර ශුද්ධාත්ම රැළි මෙන් ම පුබුදු සංස්කෘතික උළෙලයන්හි දී අසමසම දෙවිඳු තෙද ගුණ නද වන්නට පුබුදු ජයසක් රාවය පුබුදු කලා සේවාවට කදිම පිටිවහලක් විය.

නර්තන කණ්ඩායම

‘පුබුදු නර්තන කණ්ඩායම’ - අඩව්, කස්තිරම්, වන්නම් සපිරි හෙළ කිතුනු නර්තන සම්ප‍්‍රදායක ආගමනය කිතු දන පුබුදු වේදිකාව මත රඟ දෙන්නේ පුබුදු යෞවන යෞවනියන් ජන්මයෙන් ම රැගෙන ආ තලෙන්තු හැකියා කිතුනු ලීලාවෙන් මුවහත් කරවාලමිනි. හෙළ නර්තනයේ ම දමිළ නර්තන ආභාෂය හා මුසු වූ භරත, කතක් වැනි ශෛලින් ද ප‍්‍රගුණ කළ අප නර්තන කණ්ඩායම එකම දේශයක විවිධ ශෛලීන්ගේ පිරිපුන් බව එකම වේදිකාවකට කැන්දාගෙන එන්නේ විවිධත්වය තුළ ඒකත්වය ද අපූරුවට ජනිත කරවාලමිනි. ඔවුන්ගේ ජව සම්පන්න හා අලංකාර නර්තනයන් දෙවිඳාණන් පසසාලන්නට ද ප‍්‍රශංසාවට හදවත් දොරටු විවර කරවන්නට ද සමත් ය.

නාට්‍ය කණ්ඩායම

දූත මෙහෙවර දෙසුමෙන්, යැදුමෙන් යාච්ඤා ශාලාවකට, දේශනා ශාලාවකට හා මිදුම් මෙහෙයකට පමණක් වලංගු නොවී සියලූ සමාජ තුළ ස්පර්ශ කරමින් නිර්මාණාත්මක ව, අර්ථවත් ව අභියෝග හා අවධානම් මැද යුගයේ දිවැසි හඬ සමාජගත කිරීමේ භාෂා මාධ්‍යයක් ලෙසින් ‘පුබුදු නාට්‍ය කණ්ඩායමේ’ මෙහෙවර ද සුළුපටු නොවේ. විවිධ දේශපාලනික තත්ත්වයන් හා සමාජීය අර්බුදයන්වලට වීදි බැස දිවැසි රාවය රංගනයෙන් ඉදිරිපත් කිරීමට පුබුදු නාට්‍ය කණ්ඩායම දැක් වූ කාර්යභාරය පුබුදු කලා සේවාවට විප්ලවීය දායකත්වයක් ලබා දී ඇත.

ලේඛණ අංශය

කලා සේවාවේ ඉතා ප‍්‍රබල තවත් අංශයකි. ඒ මන්දයත් කිතු දන පුබුදු ඉතිහාසයත් එහි ගැඹුරත් සුරක්ෂිත කොට පුබුදු ගමනට ඇතුළු වන්නන් හා අනෙකුත් ජනයන්ට පරිශීලනය කරන්නට, මෙනෙහි කරන්නට එය සුරක්ෂිත කොට අප වෙත ලබා දීමට කටයුතු කර හෙයිනි. එදා මෙදා තුර පුබුදු සේවාවේ සියලූ ම ලිඛිත ප‍්‍රකාශන සඳහා මේ ලේඛණ අංශය සිය පූර්ණ දායකත්වය ලබා දී ඇත. සතියකට වතාවක් ඉරිදා පූජාවේ දී පමණක් දේව වචනය ඇසූ කිතුනුවන්ට වසරේ දින 365 පුරා ම යාච්ඤාවට ඇතුළු වීම සඳහා දෛනික සුබ වදන ඔහු දෝතට ගෙන එන්නට "නව මිනිසා" සඟරාව පසුකලෙක "සුදතුම් ගමන" නමින් හැඳින්වූ දවසේ දේව වචනය සහිත පොත් පිංච ද, එසේම කලින් කලට මතුවන සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික සන්සරික මෙන් ම තාක්ෂණික දෝලනයන් හමුවේ සැබෑ සමිඳු හඬ මේ දේශයට හඬ ගා පවසාලන දිවැසි හඬක් වන්නට මඟ හෙළි පෙහෙළි කළ "දැක්ම පුවත්පත" ද පුබුදු ඇතුළතුන් අතර බෙදෙන ‘පුබුදු පුවත්’ සගරාව ද අමතක කළ නොහැකිය.

කිතු දන පුබුදු විද් වියමන් පර්ෂදය

සමිඳාණන් වහන්සේගේ වචනය ව්‍යාප්ති කිරීම සඳහා ද, පුබුදු අත්දැකීම් හා දර්ශනය ජගත් ජනතාව හා බෙදා ගැනීම සඳහා ද ශුද්ධාත්මයාණන්ගේ මෙහෙයවීමෙන් දිවැසි එකතුවේ සිටි රන්ජනා අම්මා (රන්ජනා කවිරත්න) විසින් දැඩි ඕනෑකමකින් අවැසි පියවර ගත්තා ය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් 2003 අගෝස්තු මස 30 ඉරුදින අන්තර් ජාලයට එක් වෙමින් ස්වාමි තාත්තා විසින් (පූජක සිරි ඔස්කා අබයරත්න පිය) "කිතු දන පුබුදු විද් වියමන" (website) වෙබ් අඩවිය (www.pubuduwa.org) සයිබර් අවකාශයට මුදා හරින ලදී. මෙය පුබුදු කලා සේවාවේ හැරවුම් ලක්ෂයක් විය. ඇසි-දිසි සේවාව පුබුදු කලා සේවාව නව මානයකට ගෙන යන ලදී. තාක්ෂණය අතින් දියුණුව ලබා ඇති වත්මන් ලෝකය එම තාක්ෂණය අවභාවිතා කරමින් මිනිස් සිත් සතන් දූෂණය කරනා වකවානුවක ඇසි-දිසි සේවා වෙබ් අඩවියත් නොනැවතී දෙවි වදන සයිබර් අවකාශය තුළ සැරිසරන්නට ‘දිවැසි හඬ’ නමින් වෙබ් රේඩියෝවක් අන්තර්ජාලය විකාශනයක් අරඹන ලදී. දෙස් විදෙස් හි සිටින පුබුදු සංඝයන් වෙත දේව ආනාවරණයන් පුබුදු ඉගැන්වීම්, යාච්ඤාවට අතදීම ආදි නොයෙකුත් වැඩ සටහන් මෙයින් විකාශනය වේ. එපමණක් ද නොව වෙබ් රේඩියෝවේ වැඩසටහන් ඉතාමත් ආකර්ශනීය ව අර්ථාන්විත ව හා නිර්මාණශීලී ව ජනතාව අතරට ගෙනයාම සඳහා පුබුදු තරුණ තරුණියන්ගෙන් සමන්විත පුබුදු නිවේදන සන්නිවේදක අංශයක් ද කලඑළි බසින ලදී. එය ද පුබුදු කලා සේවාව නවතාවයකට ගෙන ඒමට මහඟු අත්වැලක් සපයන ලදී. ඔවුන්ගේ මෙම සේවාව අපගේ සියලූ ජාතික මටටමේ රැස්වීම්වලට මෙහෙයන්වලට දායකත්වයක් සපයනු ලැබේ.

සමාජ මාධ්‍ය ජාලාවන්

තරුණ පරපුර අතර ඉතාමත් ජනප්‍රිය මාධ්‍යයක් වූ සමාජ මාධ්‍ය ජාලාව නිවැරදි මාවතකට ගෙන ඒම සඳහා ‘කිතු දන පුබුදු මුහුණත් පොත’ (Facebook) විප්ලවය අභියෝගයක් විය. කවරදාකටවත් වඩා දහම් සිසිල ලොවට අවැසි වකවානුවක අද අපි පසු වන්නෙමු. ඉසිකෝ මානාදියෙන් දැවී පිළිස්සි අළු වී යන්නට ළං ව ඇති නූතන ලෝකයේ මනුෂ්‍යත්වයේ යුක්තියේ හා ධර්මිෂ්ඨකමේ දිය දහරින් සිසිල් කරවන්නට සෑම විට ම වෙර දරණ ජනතාවකගේ එකතුවක් වන කිතු දන පුබුදුව තුළින් දහම් සිසිල ලොවට ළං කර දෙන්නට දරණ උත්සාහයට පුබුදු කලා සේවාව මහත් පිටුවහලක් විය. 50 වසර ජුබිලිය සමරන කිතු දන පුබුදුව යනු යාච්ඤාවට දේශනාවට හෝ භාවනාවට පමණක් සීමා නොවූ පුළුල් අනාවරණයක කැඩපතක් වන බැව් මේ සටහනෙන් කියැවේ. එහි නන්විධ ඉසව් තුළින් හෙළ සංස්කෘතිය හා බැඳි කිතුනු සංස්කෘතික වටිනාකම් දරමින් සුසැඳි සංස්කෘතික කණ්ඩායම් ගණනාවක් ද පුබුදුව හරහා දේශයට දායාද කෙරිණි.

විශේෂයෙන් ම පසුගිය කොරෝනා ව්‍යාප්ති සමයෙහි පැවති එක්රැස්වීමේ බාධා හේතුවෙන් මාධ්‍යගත ක‍්‍රමය Zoom ඔස්සේ කිතුදන පුබුදු ඉගැන්වීම් හා එකතු ද ඥානකාන්ති හා අධ්‍යාත්මික අතදීම් ද සිදු කෙරිණි. විශ්ෂයෙන් ම සුදතුම් ගමන ශ‍්‍රවණ පටයක් WhatsApp ලෙස ත්‍රෛයිභාෂාවලින් නිකුත් කිරීම, පෞද්ගලික යාච්ඤාවට අතදීමත්, පළමු ඉරුදින සුපුවත හා සෑම සතියකට සිදු කෙරෙන ප‍්‍රශංසා එකතු සුපුවත බෙදා හැරීම ඒ ඔස්සේ සිදු කිරීමත්, දිනපතා මගේ පැය සඳහා දෙන ලබන අතදීමත් පුබුදු ඇසි දිසි සේවාව තුළ තැබූ දැවැන්ත පිම්මක් ලෙස දැක්විය හැක.

සමාජ මාධ්‍ය ජාල තුල හමුවන්න