මෙම ඥානකාන්තිය ආරම්භ වූයේ 1989 වසරේ දීය. පුබුදු ගමනේ යළි පිබිදීමක් අරමුණු කරගෙන ගොඩ නැගුණු ඥානකාන්තියක් බැවින් "පුබුදු ගමන 2" යන නමින් මෙම ඥානකාන්තිය හඳුන්වනු ලබයි. පළමුවන පිබිදීමේ පදනම, අත්තිවාරම වූයේ පිවිසීමේ කතා අට එතෙරවීමේ (පශ්චත්තාපික) මෙහෙය හා කැපවීමේ මෙහෙයයි. කිතු දන පුබුදුවේ සියලූම ඥානකාන්ති, ඉගැන්වීම් එම පදනම මත බව පූජක සිරි ඔස්කා අබයරත්න පියතුමා (ස්වාමි තාත්තා) මෙම ඥානකාන්තිය තුළ සිහිගන්වයි.

පුබුදු ගමන 2 ඥානකාන්තිය පුබුදු ගමන දෙස අපසු බලා ඉදිරියට යාමට මඟ පෙන්වන ඥානකාන්තියක් වේ. අපගේ පෞද්ගලික ශුද්ධාත්මික ජීවිතය හා සංඝීක ජීවිතය වෙත ආපසු බැලීමක් සිදු කරයි. සමාජ දැක්මකින් යුතුව යුක්තිය සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් කැපවීමට අවදි කරනු ලබයි. එහිදී පදනම් කර ගත යුත්තේ විවිධ දේශපාලන මත වාද නොව ශුද්ධෝත්තම පියතුමන් ලා විසින් ඉදිරිපත් කර ඇති කතෝලික සමාජ දැක්ම බව අපට උගන්වයි. වඩා ගැඹුරු දැක්මකින් හා වඩා ගැඹුරු කැපවීමකින් යුත් පුබුදු දිවියක් අරඹන්නට ශුද්ධාත්මයණන් වහන්සේගේ කැඳවීමේ හඬ ඇසෙන දින තුනක ඥානකාන්තයකි.