කිතු දන පුබුදුව ආරම්භ වී වසර 25 ක් ගතවීමේ "රීදී ජුබිලි ජයන්ති වසර" යෙදුණු 1996 වසරේ දී එම ජුබිලි වසර මුල්කරගෙන ලැබුණු "අත්හරින්න!" නැමැති අනාවරණය සමඟ සියළු ජනතාව වෙත ආරම්භක පියතුමන් විසින් ඉදිරිපත් කරන ලද විශේෂ ආරාධනයක් විය. එනම්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය වෙනුවෙන් 100% ක් ජීවිතය දෙන්නට සූදානම් අය හට, එනම්, විශේෂයෙන් විවාහක යුවල්, තරුණ-තරුණි, සුරැඳි දූවරුන්, සුමැදි මව්වරුන් හට "සබැඳි සංඝය"ට එක්වන ලෙස ය. එලෙසින් සබැඳි සංඝයේ ගමන ආරම්භ විය. මෙහි සාමාජිකයන් ලෙස විවාහක යුවල්, වැන්දඹු (සුමැදි), තරුණ-තරුණි හෝ වැඩිහිටි (සුරැඳි) අය විය හැකි ය. ඒ අය, පුබුදු ජීවිත ක‍්‍රමයට අසීමිත විශ්වාසවන්තකමින් බැඳී සිටීමට සූදානම් වූ ද, පුබුදු ජීවිතය තුළින් දෙවියන් වහන්සේගේ රාජ්‍යය වෙනුවෙන් 100% ක් ජීවිතය දෙන්නට කැමත්ත ඇත්තාවූ ද, කුරුස පාමුල ජීවිතය තුළින් පුබුදු කැරිස්මාවට පූර්ණ ව පිළිතුරු දීමට පිපාසයෙන් යුක්ත වීය යුත්තෝ ය.

"තමකම නසා කුරුසිය රැගෙන මා අනුව එන්න" (ශු. මාක් 8:34) යන අප සමිඳාණන් වහන්සේගේ ආරාධනයට අනුව පූර්ණ ව සාක්ෂි දරණු සඳහා කිතුදන පුබුදු කරිස්මාව තම ජීවිත පැවැත්ම ලෙස පිළිගෙන, එයට සාක්ෂි දැරීමට කැමැත්ත පළකරන කිතු දන පුබුදු සාමාජිකයින් අයත් වන සංඝය "සබැඳි සංඝය" ලෙස හඳුන්වමු. තවද කිතු දන පුබුදු කරිස්මාව පිළිපදිමින්, දේව කැමැත්තට අවනතභාවය දක්වමින්, දේව රාජ්‍යය අරඹයා කැපවෙන සරළ අල්පේච්ඡ ජීවිතය ගත කිරීම, සබැඳි සංඝයේ සාමාජිකයින්ගේ සුවිශේෂි ලක්ෂණයන් වේ.