කිතු දන පුබුදුව ආරම්භක යුගයේ තිබූ සේවාවන් අතරින්, සුව සේවාවේ අංශයක් ලෙස ඇතුළාන්ත සුවය බිහි විය. අප ආරම්භක පියතුමන් වන ස්වාමි තාත්තා හමුවට පැමිණ ඔවුන්ගේ ජීවිත ප‍්‍රශ්න බෙදා ගන්නා විට, පවුල් තුළ සම්බන්ධතාවලට බාධා කරන, නුරුස්සනා බව, සැකය, ආදරය කිරීමට, පිළිගැනීමට, නොහැකියාවට හේතු වන තමන් මෙහෙයවන අතීතයක් ඇති බව එතුමාට අවබෝධ විය. මේ සඳහා කොතෙක් තීරණ ගත්තත්, යාච්ඤා කළත්, ඉහත කී තත්ත්වයන් ඉවත් කරගත නොහැකි බවත්, එයට විසඳුම වන්නේ මිනිස් සබඳතා පැවැත්වීමට බාධා කරන, නැතහොත් තමා ව රෝගී කරන, සමහර විට ආත්මික හෝ මානසික වර්ධනය අඩාල කරන, යටි සිතේ සඳහන් වූ වේදනාත්මක අත්දැකීම් උත්ථාන වූ ස්වාමින් වහන්සේගේ බලයෙන් මකා දැමීම බව හඳුනා ගන්නා ලදී. මේ සඳහා චිත්තරූප මවා ගැනීම තුළ, අතීත අඳුරු සිද්ධියට උත්ථාන වූ ස්වාමින් වහන්සේ මුණගස්වා සුවය ලබා දීම ද, සිද්ධියට අදාළ පුද්ගලයන්ට සමාව දී ඔවුන් නිදහස් කිරීම ද ඇතුළාන්ත සුවයේ දී සිදු විය.

ඇතුළාන්ත සුව මෙහෙයට පැමිණ යාච්ඤා ලබා ගන්නා අයගේ ජීවිතවල පැහැදිලි වෙනසක්, නිදහසේ කි‍්‍රයාකිරීමට හැකියාවක් ඇති බව දක්නා ලදී. ගෑස්ට‍්‍රයිටිස්, මානසික ආතතිය වැනි රෝග සුව විය. සමහර විට පිළිකා පවා සුව විය.

මෙය සැසිවාර 4කින් සමන්විත සමුළුවකි. පළමු වන දින මුල් සැසිවාර තුන සමඟින් මිදුම් මෙහෙයක් පවත්වා අවසානයේ උපස්ථාන කණ්ඩායම් හරහා පෞද්ගලික උපස්ථානයක් ලබා දෙයි. පාපොච්චාරණය සඳහා ද අවස්ථාව ලබා දෙන අතර, මිදුම් මෙහෙය තුළ ගරු පියතුමකු මගින් අශුද්ධාත්ම දුරු කිරීමේ නිල යැදුම් පවත්වනු ලබයි. පසුදින 4 වන සැසිවාරය සමඟින් ප‍්‍රශංසා මෙහෙයකින් අවසාන කරනු ලබයි. මෙම සම්මේලනය මඟින් බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතවල සිරවී සිටි තැන්වලින් නිදහස් වීම, භේද වූ පවුල්, සාර්ථක පවුල් ජීවිත ගත කිරීමට යොමු වීම මෙන් ම ශාරීරික සුවය පවා ලබාගැනීමට අවස්ථාව උදා වී ඇත.

මේ වනවිට මාස 2 කට වරක් මෙම සම්මේලනය ශ‍්‍රී ප‍්‍රශංසාරාමයේ හෝ වෙනත් සාංඝිකයක පවත්වනු ලැබේ. ලංකාවේ විවිධ ස්ථානවල සිටින උපස්ථායකයන් 30 ක් පමණ මෙම සේවාවට සම්බන්ධ වන අතර, සතිපතා කණ්ඩායම් සමහර සාංඝිකවල රැුස් වී, යාච්ඤා කිරීම හා උපස්ථානය මගින් ජනතාවට උදව් වේ. විවාහයට පෙර, මෙම සම්මේලනවලට සහභාගි වී ඇතුළාන්ත සුවය ලබන අය, සාර්ථක පවුල් ජීවිත ගත කරන බව අපගේ අත්දැකීමයි. දේව මෑණියන් හා ක‍්‍රිස්තුන් වහන්සේ හැරුණු කොට, හැම අයෙකුට ම ඇතුළාන්ත තුවාල ඇති බැවින්, තුවාල ඇති අය සුව වීමේ මාර්ගය කි‍්‍රස්තුන් වහන්සේ හෙළුෑ ශ‍්‍රි රුධිරය යි.