1979 වර්ෂයේ කිතු දන පුබුදුව තවත් නැවුම් මගකට පියමනින ලදී. එනම් පුබුදු මුද්‍රාණාලයේ උපත නොහොත් ආරම්භය සිදු වීම යි. එහි දී ප‍්‍රථමයෙන්ම දොරට වඩින ලද්දේ "ජේසුස් ක‍්‍රිස්තුස් වහන්සේ එක ම ස්වාමියාණෝ" යන කාඞ්පතයි. එම කාඞ්පත සැම කිතු දන පුබුදු අත්දැකීමක් තිබෙන නිවසකම ප‍්‍රදර්ශනය විය. මෙම විශේෂ කාඞ්පත කිතු දන පුබුදු සමාජිකයෙකු වීමට පවත්වනු ලැබු කතා අටෙන් පසුව සිදුවු කැපවීමේ දිනයේ අනිවාර්යයෙන් ම බෙදා දෙන ලදී.

මෙසේ ආරම්භ වූ ව්‍යාප්ති සේවාව 1980 ප‍්‍රකාශන සේවාව නමින් නම් කරන ලදී. පුබුදු මුද්‍රණාලය හා ප‍්‍රකාශන සේවාව එකට සම්බන්ධ වී ගමන් කළ අතර එහි වගකීම පැවරී තිබුණේ චන්ද්‍ර කීර්ති කුලරත්න තාත්තා වෙත ය. එලෙස ආරම්භ වූ ප‍්‍රකාශන සේවාව තුළ 1980 වර්ෂයේ දී ම පුබුදු පුවත්, නිහඬ විප්ලවය, නව මිනිසා "New Man" යන සඟරා හරහා දේව වචනය ජනතාව වෙතට ගෙන යන ලදී.

ව්‍යාප්තිය ටික කලකට පසු මෙය නැවත නම් කිරීමකට භාජනය විය. එහිදි ඇන්තනි අප්පුහාමි සොහොයුරා සමග මිත‍්‍රත්වයක් තිබු සිරිල් බී පෙරේරා මහතා මෙම සේවාවට දේව වචනයේ ව්‍යාප්ති සේවාව යනුවෙන් නම් තැබීම යෝග්‍ය බව ප‍්‍රකාශ කළහ (සිරිල් බී පෙරේරා මහතා චිත‍්‍රපට තිර රචකයෙක් මෙන් ම දෙසතිය සඟරාව වැනි දේ වලට දායක වුවෙකි). මෙලෙස නම් කිරීමට හේතු වූයේ එවකට මුලස්ථානය වන VI වන පාවුළු මධ්‍යස්ථානයේ සඳුදා දිනවල ස්වාමි තාත්තා විසින් පවත්වන ලද සඳුදා දින පණිවුඩය හේතුකොටගෙන ය. එම පණිවුඩය, සදුදා දිනම ඒ මොහොතේ ම ශ‍්‍රාවණ පට 300 ක් පමණ පටිගත කරමින් ජනතාව අතරට යැවීමට කටයුතු කරන ලදී.

1982 නව මිනිසා යනුවෙන් සඟරාවක් එළිදක්වන ලදී. නව මිනිසා යන නම තබන ලද්දේ ක්‍රිස්තුස් වහන්සේ නව මිනිසා බවත් එහෙයින් ඔවුන්වහන්සේ වෙතට පැමිණෙන සියළු දෙනා අළුත් මැවිල්ලක් බවට පත්වෙන බව පෙරදැරි කරගෙන ය. නව මිනිසා යනුවෙන් සතියක් නම් කළ අතර, එක රැයකින් "නව මිනිසා" යනුවෙන් නම් කළ සඟරා සියළුම ප‍්‍රදේශවල විශාල දැන්වීම් ප‍්‍රකාශ කරමින් මිනිසුන් අතර කුකුසක් ඇති කරමින් දේව වචනය ව්‍යාප්ත කිරීමට ආධාර කරගත හැකි විය. එමෙන් ම නව මිනිසා යනුවෙන් කොඩි සකස්කර ගෙන එවා වාහනවල ප‍්‍රදර්ශනය කරමින් ගමින් ගමට ගමන් ගත් අතර එවකට නව මිනිසා සඟරා 20000 ක් බෙදා හරින්නට සමත් විය. පළමුව සුදු කළු වර්ණ වලින් මුද්‍රිත නව මිනිසා සඟරාව පසුව වර්ණ ගන්වමින් මරදාන අයි.බී.බී. මුද්‍රණාලයේ මුද්‍රිත විය. නව මිනිසා සඟරාව තුළින් ඉරිදා දින සුපුවත හා අත්දැකීම් ලියු අතර මෙය දෙමසකට වරක් නිකුත් කිරීමට හැකි විය.

මේ වන විට විවිධ පොත් මුද්‍රණය විය. ඒවා අතර "පෞද්ගලික යාච්ඤාවට අත්වැලක් 1,2,3,4,5" යනුවෙන් පොත් එලි දක්වන ලදී. "සත්‍ය ඔබව නිදහස් කරයි", "සමිඳාණෝ මාගේ එඩේරා" යන පොත් එලි දැක්විනි. 1983 වන විට "ශ්‍රී වචනය" නැමැති සඟරාව පොත් 12ක් පමණ වරින් වර නිකුත්විණි.

එලෙසම බයිබල් සම්මේලනය, පාස්කූ සම්මේලනය, නත්තල් සම්මේලනය හා අනෙකුත් සම්මේලන ද, ශූද්ධාත්ම මංගල්‍ය දේශන ද ශ‍්‍රවන පටවල පටිගත කරමින් කිතුනු ජනතාව අතර ව්‍යාප්ත කරන ලදී. එලෙසම අළුත් පොත් පත් හා ශ‍්‍රවණ පට පිළිබඳව සාංඝිකය, ශ‍්‍රාවක සංඝ, ප‍්‍රශංසා ගම් දක්වා දැනුවත් කළ අතර ඒ සඳහා ව්‍යාප්ති සේවා ජාලයක් සකස් වී තිබුණි. එවකට යම් පණිවුඩයක් දුන්නේ මෙම ව්‍යාප්ති සේවා ජාලය හරහා ය.

තවද මුලික එකතුව අනුමැතිය පරිදි බයිබල් සමාගමේ ප‍්‍රකාශන මෙන්ම දේව ධර්ම නිකේතනයට අනුබද්ධව ප‍්‍රකාශ කළ "ශ්‍රී වචනය" නැමැති සඟරාව හා පුබුදුවට පමණක් සීමා නොවු "දැක්ම" පත‍්‍රය ද ව්‍යාප්ති කරනු ලැබී ය.

ව්‍යාප්ති සේවාවේ දැක්ම

ව්‍යාප්ති සේවාවේ අරමුණ හා දැක්ම නම්, "ලොව පුරා ගොස් සකල සත්වයා හට සුභ ආරංචිය දේශනා කරන්න" (ශු. මාක් 16:15) යනු යි.

  1. දෙවියන් වහන්සේගේ රාජ්‍ය ලොව පතල කිරීම.
  2. සියළු ජාතින් ක‍්‍රිස්තුස් වහන්සේ වෙත ගෙන ඒම.
  3. ශුභාරංචිය ප‍්‍රකාශ කිරීම.
  4. ශුභාරංචිය සඳහා සාක්ෂි දැරීම.
  5. දේව රාජ්‍යයේ වටිනාකම හා ක්‍රිස්තු දැක්ම ගෙන එ්ම.
  6. මනුෂයාව ධර්මිෂ්ඨ කිරීම, ශුද්ධවත් කිරීම.
  7. දෙවියන් වහන්සේ දෙන ගැළවීම, විමුක්තිය ලොවට ප‍්‍රකාශ කිරීම.
  8. විශ්වාසයේ ගමනක් ආරම්භ කරන්නට ජනතාවට මගපෙන්වීම.
  9. දේව වචනයට පිපාසිතව ඇතුළු කරවීම.
  10. දේව වචනය තුළින් ක‍්‍රිස්තුන් වහන්සේව අත් දකින්නට හා බෙදාගන්නට.

ව්‍යාප්ති සේවාවේ දැක්ම නම් හුදෙක් ලාභ ලබන හෝ වාසි ලබන කේෂ්ත‍්‍රයක් නොවේ. පුළුල් වු අරමුණු රැසකින් හෙබි ව්‍යාප්ති සේවාව ක්‍රිස්තුස් වහන්සේව පෙරදැරි කරගෙන දේව රාජ්‍ය අත්දකින්නට ගමන් ගන්නා තවත් එක් සේවාවකි. ක්‍රිස්තු සමිඳාණෝ එක ම සමිඳාණන් කරගත් ජනතාවට මග පෙන්වන තෝතැන්නකි.

වර්තමාන පුබුදු ව්‍යාප්තිි සේවාවේ ක‍්‍රියාකාරිත්වය නම් අද වන විට ව්‍යාප්ති සේවාව පුළුල් ලෙස පැතිරි ගොස් තිබේ. කොළඹ, ජා-ඇල, හලාවත, පාලකුඩාව, තඹරවිල, මොරටුව, මීගමුව, රත්නපුර යන සාංඝික තුළ ඇති මධ්‍යස්ථාන තුළ ව්‍යාප්ති සේවාව කරගෙන යන අතර විදේශ රටවල එනම් ඉතාලිය, ඔස්ටේ‍්‍රලියාව, ඊශ‍්‍රායෙලය, ලෙබනන්, එංගලන්තය, ඕමානය වැනි රටවල ද අපගේ පොතපත මෙන් ම ශ‍්‍රවණ තැටි ද මිලදී ගැනීමට හැකියාව සපයා දී තිබේ.

align=justifyසිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා තුනෙන් ම ශ‍්‍රී ලංකාව තුළ හා විදේශ රටවල් ගණනාවකට ම සුදතුම් ගමන සඟරාව ව්‍යාප්ති කර ඇත.

වර්ථමානය වන විට නව පොත් පත් එනම්, පුබුදු පිය අරගලය, දිවැසි ප‍්‍රතිරාවය, ශ‍්‍රී ලාංකේය කතෝලික ප‍්‍රතිසංස්කරණ ප‍්‍රවාහය, ස්වාමි තාත්තා විසින් දෙන ලද දේශනා අඩංගු පොත්, ශුද්ධාත්ම මංගලයන් හි දේශනා පොත හා ශ‍්‍රවණ පට ද රන්ජනා අම්මා විසින් පරිවර්ථනය කරන ලද ශුද්ධාත්ම පිබිදීම පොත හා "ශුද්ධවු දැත් ඔසොවා යාච්ඤා කරන්න" යන මැදිහත් යාච්ඤා පොත, පුබුදු ගීතිකා වැනි පොත් මෙන් ම ශ‍්‍රවන තැටි රැසක් නිකුත් කර ඇත.

මෙවැනි දේ තුළින් අප අපේක්ෂා කරනුයේ දේව වචනය ජනතාව අතරට ගෙන යාමයි. අද අප ව්‍යාප්ති සේවාව නම් කරනුයේ පුබුදු ප‍්‍රකාශන හා දේව වචනයේ ව්‍යාප්ති සේවාව නමිනි.

පුබුදු මධ්‍යස්ථාන හරහා අපගේ සියලූ ම පුබුදු ප‍්‍රකාශන, ශ‍්‍රවණ තැටි හා අනෙකුත් ආගමික දේ ලබා ගත හැක. එලෙස ම අන්තර්ජාලය හරහා පුබුදු විද් වියමන මගින්ද ව්‍යාප්ති සේවාව සමග සම්බන්ධිකරණය පවත්වා ගෙන යාමට හැකි ය.