කිතු දන පුබුදුවට සම්බන්ධ වන අයෙකු ශුද්ධාත්ම (ස්නාපනය) බෞතිස්මය ලබා පිබිදීමේ අත්දැකීම ලබාගනුයේ පිවිසීමේ කතා මාලාව සහ කැපවීම තුළිනි. මෙය කණ්ඩායම් වශයෙන් සාංඝීක මටට්මෙන් (පළාත්) පවත්වනු ලබයි. උත්ථාන වූ ක‍්‍රිස්තුන් වහන්සේ හමුවීමේ අත්දැකීමේ සිට 100%ක් ඔවුන් වහන්සේට ජීවිතයේ ස්වාමිත්වය පුද දීමේ අත්දැකීම කරා මෙහෙයවන්නා වූ පිවිසීමේ කතාමාලාවේ අරමුණ වනුයේ ප‍්‍රසාද ස්නාපනීය කැඳවීම පිබිදීම මෙන් ම අභිවෘද්ධි ආලේපය දේව ප‍්‍රසාද නිධානය නැවත පණ ගැන්වීමකි. එසේ ම මෙම සක‍්‍රමේන්තු හරහා ලැබෙන කැඳවීමට පිළිතුරු දීමට කැපවීමකි.

මෙම කතාමාලාව දේශන කථා අටකින් සමන්විත ය. එහි තේමාවන් පහත පරිදි ය.

  • පළමු කතාව - ක‍්‍රිස්තුන් වහන්සේ ජීවමානයි. ඔවුන් වහන්සේ ව හමුවන්න.
  • දෙවන කතාව - උන්වහන්සේ ව හමුවිය හැක්කේ එකමුතුකම තුළ ය.
  • තෙවන කතාව - ක‍්‍රිස්තුන් වහන්සේ ව හමුවන අයට ලැබෙන තෑග්ග ජීවනය ය.
  • සිව්වන කතාව - හිස්වීම.
  • පස්වන කතාව - මොහොතේ ජීවිතය.
  • හයවන කතාව - ක‍්‍රිස්තුන් වහන්සේ එඬේරාණෝ.
  • හත් වන කතාව - යාච්ඤාව.
  • අටවන කතාව - තනි වූ ක‍්‍රිස්තුන් වහන්සේ.

මෙම කතා අටේ දේශන මාලාවේ අවසානයේ දී ගැඹුරු පශ්චත්තාපික මෙහෙයක් සිදුකරනු ලබන අතර අවංක ව සිත්හැරීමේ, මනස්ස්ථාපනය වීමේ අත්දැකීමක් කරා යොමුවීමට අධ්‍යාත්මික මෙහෙයවීමක් දෙනු ලබයි. සමගි වීමේ ප‍්‍රසාද නිධානයේ පිබිදීමකට මෙහිදි ලැබෙන පෝෂණය ඉවහල් වී ඇත. ක‍්‍රිස්තුන් වහන්සේට තම ජීවිතයේ ස්වාමිත්වය පුදමින් ප‍්‍රතිඥා දීම හා ශුද්ධාත්ම ස්නාපනය අත්දැකීම සමඟින් කැපවීමේ මෙහෙය දිව්‍ය පූජෝත්සවයෙන් අවසාන කෙරේ. "පිවිසීමේ කතාමාලාව හා එතෙරවීමේ මෙහෙය" හැටියට මේ වන විට එය නම් කර ඇත. මෙම පිවිසීමේ කතා මාලාව මගින්, ගැඹුරු ක්‍රිස්තියානි ජීවිතයක් ගත කිරීමට පදනමක් ලබා දෙයි. පෙන්තකොස්ත අත්දැකීමට නැවත නැවතත් ඇතුළු වෙමින් පිබිදීම අත්දකිමින් උත්ථාන වූ කිතු සමිඳුන් හමුවීමේ අත්දැකීම ලද මුල් කිතුනු සංඝයේ අත්දැකීම පරිදි සාංඝික ජීවිතයක් ගත කිරීම මෙහි අරමුණයි.

කැපවීමෙන් අනතුරුව නව පිබිදුණු ජීවිතය තුළ දැකිය හැකි ලක්ෂණ 4කි.

  1. පෞද්ගලික යාච්ඤා ජීවිතයකට ඇතුළුවීම
  2. නිරන්තරයෙන් ප‍්‍රශංසාවේ ජීවිතයක් ගත කිරීම
  3. ශුද්ධ බයිබලය දිනපතා කියවමින්, මෙනෙහි කරමින් එහි අන්තර්ගත දේව හඬ, දේව සිත හා දේව මඟපෙන්වීම මගින් ක්‍රිස්තුස් වහන්සේ දෙස බැලීමට යොමු වීම.
  4. ක‍්‍රිස්තුදානය එනම්, අන් අයට ක‍්‍රිස්තුන් වහන්සේව දානය කිරීමයි. ඔවුන් වහන්සේ ව හමුවීමේ අත්දැකීම බෙදාගැනීමයි. මන්ද ක්‍රිස්තුන් වහන්සේගේ දර්ශනය වූයේ තම පියාණන් වෙත මනුෂ්‍ය පුත‍්‍රභාවයේ සිට දේව පුත‍්‍රභාවයේ උරුමය කරා ගමන් කිරීමත්, දේව රාජ්‍යය ජනතාවට ප‍්‍රකාශ කිරීමත් ය. ඔවුන් වහන්සේගේ දැක්ම, අපගේ ද දැක්ම කරගනිමින් දේව පුත‍්‍රභාවයේ අනන්‍යතාවය මත පිහිටා පවුල, සභාව, කිතුනු සංඝය හා සමාජය කෙරෙහි වන ක‍්‍රිස්තියානි යුතුකම් හා වගකීම් පිළිබඳ මනා අවබෝධයෙන් යුතු ව ඉටුකරලීම යි.

වර්තමාන ක්‍රියාකාරීත්වය

මේ වන විට මීසම්වල පියතුමන්ලා විසින් ද පුබුදු සංඝයන් විසින් ද ශ්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශ හා ස්ථානවලින් පිවිසීමේ කතාමාලාව, මනස්ස්ථාපන මෙහෙය සමඟම සිදුකරන කැපවීමේ මෙහෙය නොහොත් එතෙරවීමේ මෙම අධ්‍යාත්මික වැඩසටහන පුබුදු ජනතාව විසින් "ක්‍රිස්තුදානය කළ ජනතාවට" ලබා දෙනු ලබයි.

අතදීමේ කතා හතර

පිවිසිමේ කතා මාලාවෙන් ලබන අත්දැකීම තවදුරටත් ගැඹුරු කරනු සඳහා අතදීම් කතා යනුවෙන් කතා හතරක් පැවැත්වේ. එහිදී මූලික පිබිදීමේ ලක්ෂණ හතර වන ප‍්‍රශංසාව, යාච්ඤාව, ශුද්ධ බයිබලය කියවීම සහ ක‍්‍රිස්තුදානය කෙරෙහි අවදිවීමට හා අත්දැකීමට යොමු කරනු ලබයි. මෙම වැඩපිළිවෙළ හරහා මූලික ක‍්‍රිස්තියානි ධර්මතාවයන් තුනක් වන ප්‍රේමය, විශ්වාසය, බලාපොරොත්තුව සහ සාංඝීක ජීවිතය පිබිදීමේ අත්දැකීමකට යොමු කරනු ලබයි.