1973 දී ආරම්භ වූ පුබුදු ළමා අංශයේ මූලික අරමුණ වූයේ උත්ථාන වූ සමිඳාණන් වහන්සේ අත්දකින්නට ළමා වියේ සිට ම දරුවනට අත දීමයි.

1973 දී ගොළුවපොකුණ පුබුදු මධ්‍යස්ථානයේ දී ස්වාමි තාත්තා විසින් විවිධ ප‍්‍රදේශවලින් පැමිණි තරුණියන් පිරිසක් සඳහා එම අරමුණ මුල් කොට ගනිමින් පවත්වන ලද සම්මේලනය මෙහි පළමු පියවර විය. එහිදී ළමා මනසට උචිත අයුරින් සුපුවත බෙදා දීම සඳහා දල සැලැස්මක් සැකසුනු අතර එය තම තමන්ගේ ප‍්‍රදේශ තුළ ක්‍රියාත්මක කිරීමට සම්මේලනයට සහභාගි වූ තරුණියෝ පියවර ගත්හ.

එසේ ආරම්භ වූ ළමා අංශය අද සෑම සාංඝිකයම ළමා එකතු සතිපතා පැවැත්වෙන අතර සංඝ මට්ටමින්, ප‍්‍රශංසා ගම් මට්ටමින් ළමා අංශය දියත් කර ඇත. පළමුකොට දේව ආදරය අත්දැකීමට යොමු කරන අතර දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් දියුණු කිරීමටත්, ගෙවතු වගාවට හා වස විසෙන් තොර ආහාර අනුභව කිරීමටත්, සරල අල්පේච්ඡ ජීවිතය, එකමුතුකමේ ජීවිතයක් ගතකිරීමට යොමුව ද දරුවන් වෙත ගලා යන්නට සලස්වයි. සෑම වසරකදී ම නත්තල් කාල සීමාවේ දී දිළිඳුන් වෙනුවෙන් විවිධ වැඩසටහන් ද පවත්වන ලදී.

විවිධ තේමාවන් යටතේ මේ වනවිට ළමා රැුළි පොදුවේ මෙන් ම සාංඝික වශයෙන් ද පවත්වා ඇති අතර, ළමයින් සඳහා සුපුවතට අදාළ ගීතයන් ද නිර්මාණය වී ඇත. එනම්, ළමා එකතුන් ආරම්භයේ සිට දරුවන් හට දුන් අතදීම් ඇතුළත් "පුබුදු ළමා මඟ" හා "මුතුකැට පහන" නමින් මේ වන විට සහයිකාවන් සඳහා අත් පොත් 2 ක් නිකුත් කර ඇති අතර එවැනි තවත් පොතක් නිර්මාණය කිරීමට ආරම්භයක් දී ඇත.

දරුවන්ට අත දෙන සහයක සහයිකාවන්ට සෑම මසකට වතාවක් පොහෝ දින දී විශේෂ අතදීමක් ද සිදුකරනු ලබන අතර ළමා අංශය තුළ එම අතදීම සියලූම දරුවන් වෙත ගලා යන්නට ද සලස්වා ඇත්තෙමු. ළමයින් සඳහා වැඩි අවධානයක් යොමු විය යුතු ය. මන්ද පුබුදු අනාගත පරම්පරාව ළමා අංශය බැවිනි.