කිතු දන පුබුදුව, "යාච්ඤාවේ ව්‍යාපාරයක්" ලෙස හඳුන්වන ලදී. යාච්ඤා ජීවිතයට, පෞද්ගලික යාච්ඤාවට මූලික පුහුණුව ලබා දෙන්නේ යැදුම් පාසල නැමැති දින දෙකේ ඥානකාන්තිය මඟිනි. පුබුදු පිවිසීම් කතා මාලාවේ 7 වන කතාවෙන් ගලා එන "යාච්ඤා ජීවිතයට" ලැබෙන අතදීම යැදුම් පාසලේ පදනමයි.

අපට යාච්ඤා කළ නොහැක. දෙවියන් වහන්සේට යාච්ඤා කළ හැක්කේ ක්‍රිස්තුන් වහන්සේට පමණි. අපගේ යාච්ඤා ජීවිතයේ අරමුණ විය යුත්තේ ක්‍රිස්තුන් වහන්සේගේ යාච්ඤාවට බද්ධ වීමයි. ඒ තුළ අප ලබනා ත්‍යාගය දේව ආදරය පුතෙක්, දුවෙක් ලෙස අත්දැකීමයි. ක්‍රිස්තුන් වහන්සේගේ යාච්ඤාව වූයේ දෙවියන් වහන්සේගේ ආදරය අත්දැකීමයි. අපි ද ක්‍රිස්තුන් වහන්සේ හරහා පියාණන් වහන්සේ තුළ අපගේ පුත‍්‍රභාවය තුළ දේව ආදරයෙන් පිරෙන්නට පටන් ගනියි. ඒ ආදරය අත්දැකීමට ඇති පිපාසය ඉතාමත් වැදගත් බව යැදුම් පාසලෙන් මතක් කර දෙයි.

එසේ ම පුබුදු පිවිසීමේ කතා මාලාවේ 4 වන කතාවෙන් ගලා එන "හිස්වීම" තුළින් යාච්ඤාව අරඹන්නටත්, පංචේන්ද්‍රිය අභ්‍යාසයන් නිශ්චලතාවයට හා හිස්වීමේ අත්දැකීමට උදව් කර ගනියි. මෙමඟින් ශුද්ධාත්මයාණන් වහන්සේට අවදි වීමේ ජීවිතයකට යොමු වෙයි. (1996 න් පසු ව පුබුදු අපගේ හිස්වීම හා පිරීමට නව අර්ථයක් ලැබුණි. හිස්වීමේ ගැඹුරු ම අරුත ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් පිරීමයි). යාච්ඤාවේ දෙවන පියවර පිවිසීමේ කතා මාලාවේ 2 වන කතාව තුළින් ගලා එන "එකමුතුකම තුළ ක්‍රිස්තුස් වහන්සේ ව හමුවීමේ" අත්දැකීම සඳහා ශු. මතෙව් 18:19-20 පදනම් කරගනියි. එලෙස ම යැදුම් පාසල තුළින් ක‍්‍රිස්තුන් වහන්සේ ව හමුවීම පිළිබඳව ශු. පාවුළු තුමා ස්පර්ශ කළ අත්දැකීමට යොමු කරවයි. එනම් ප‍්‍රථාපවත් ක්‍රිස්තුන් වහන්සේ, සංඝය තුළ (අතීන්ද්‍රිය) ක්‍රිස්තුන් වහන්සේ, විශ්වීය ක්‍රිස්තුන් වහන්සේ හා දිව්‍ය සත්ප‍්‍රසාද වහන්සේ තුළ වැඩවසන ක්‍රිස්තුන් වහන්සේ අත්දැකීමයි.

මේ අනුව පිබිදීමේ ජීවිතයට ඇතුළත් වූවනට පෞද්ගලික යාච්ඤාව ඉතාමත් වැදගත් වේ. සෑම අයෙක් ම දිනපතා යාච්ඤාවට කාලයක් පෞද්ගලිකව වෙන්කර ගැනීමට යොමු වෙයි. එහිදී දිනෙන් දින දෙවියන් වහන්සේගේ ආදරය දුවෙක්, පුතෙක් ලෙස අත්විඳියි. ඒ සඳහා නිරන්තරයෙන් මඟපෙන්වන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේය (රෝම 8:26). යැදුම් පාසලෙන් යොමු කරන පෞද්ගලික යාච්ඤාව තුළින් අප ලබනා පුත‍්‍රභාවය සාංඝික පුත‍්‍රභාවයට යොමු කරවයි.

මෙය ගැඹුරු නිසලතාවයෙන් යුතුව සිදු කරන ඥානකාන්තියකි. වැඩි කාලයක් නිසලතාවයේ අභ්‍යාසයන්වලට ඇතුළුවීමේ අවස්ථාව ලබා දෙමින් පුරා දින දෙකක් මේ සඳහා යොමු කළ යුතු වෙයි. ඒ අනුව එයට සුදුසු පරිසරයක් සහිත අපගේ ආරාම තුළ (ශ‍්‍රි ප‍්‍රශංසාරාමය, ශ‍්‍රි ක‍්‍රිස්තු ධර්මාරාමය, ශ‍්‍රි රම්‍යාරාමය) පමණක් යැදුම් පාසල පැවැත්වීමට යොමු වෙයි. මෙහිදී සමථ හා සක්මන් භාවනාව පුරුදු පුහුණු වීමට ද මඟපෙන්වනු ලබයි. මේ සමඟ පිබිදුණු යාච්ඤා ජිවිතයකට ඇතුළත් වීමට පුබුදු ජනතාවට අවස්ථාව ලැබේ.