විවාහ සක‍්‍රමේන්තුව වනාහි මිනිසාට ත‍්‍රිත්වික ප්‍රේමය අත්දැකීම පිණිස දෙවිඳුන් විසින් ම ත්‍යාග කළ ඔවුන් වහන්සේ විසින් ම එක් කළ බන්ධනයකි. පුරුෂයා හා ස්ත‍්‍රීය එකම මාංශයක් ලෙස පැවතීම ඔවුන් වහන්සේගේ ශුද්ධ වූ කැමැත්ත විය.

ආශිර්වාදකාර බන්ධනය සක‍්‍රමේන්තුව පුබුදුවමින් ආශීර්වාදකාර බන්ධනය නැමැති ප‍්‍රසාද නිධානය ලබන්නට සූදානම් ව සිටින්නා වූ සෑම කිතු දන පුබුදු යුවළකට දැනුවත් ව සහ අවබෝධයකින් යුක්ත ව දේව ආදරයට විවෘත වෙමින් කිතුනු වටිනාකම් දරණ පවුලක් වන්නටත්, දේව රාජ්‍යය සඳහා කැපවෙන පවුලක් වන්නටත්, කිතු දන පුබුදුව තුළ අතදෙනු ලබන ඥානකාන්තිය විවාහ අපේක්ෂක ඥානකාන්තිය වේ.

තෙදිනක් පුරා දේශන 12කින් සමන්විත මෙම ඥානකාන්තිය ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයන් ඔස්සේ කිතු දන පුබුදු පවුල් සේවාව තුළින් සිදු කෙරෙන අතර විවිධ වෘත්තීන්වල යෙදෙන කිතු දන පුබුදු සුදු මුදු විවාහයන්ට ඇතුළත් වූ පවුල් සේවාව තුළ සේවාව කරන පරිණත සාමාජිකයන් විසින් මෙහෙයවනු ලබයි.

කිතුනු විවාහයේ පදනම, වටිනාකම්, වගකීම් මෙන් ම කිතුණු විවාහය හා බැඳි සභා ඉගැන්වීම් සම්බන්ධයෙන් ද, ස්ත‍්‍රී පුරුෂභාවය මත වෙනස්වන ශාරිරික, මානසික, චෛතසික වෙනස්කම් පිළිබඳ අවබෝධය ද, කිතුනු විවාහය තුළ ලිංගිකත්වය, පවුල් සැලසුම් ක‍්‍රම හා දරු ප‍්‍රසූතිය වැනි කරුණු සම්බන්ධයෙන් අවබෝධය ද, වත්මන් පවුල් සංස්ථාව මුහුණුපාන අභියෝග සහ ඒවාට මුහුණදෙන ආකාරය පිළිබඳ ව පූර්ව අවබෝධයක් ද, පවුලේ ආර්ථිකය සැලසුම් කරගැනීම වැනි කාරණා සේ ම, දේව රාජ්‍යයේ වටිනාකම් දරමින් සරළ අල්පේච්ඡතාවය වැනි වටිනාකමින් යුතු කිතුනු පවුලක් වන්නට ද කෙරෙන අතදීම්වලින් මෙම ඥානකාන්තිය සමන්විත වේ.