පිවිසීමේ කතා මාලාව, පශ්චත්තාපික මෙහෙය, කැපවීමේ මෙහෙය හා අතදීමේ කතා හතර සමගින් උත්ථාන වූ ජේසු ක‍්‍රිස්තුන් වහන්සේ හමුවී ශුද්ධාත්ම ස්නාපනය සමඟින් අරඹන පිබිදුන ගමන සඳහා පරිසරයක් පෝෂණයක් අවශ්‍ය වේ. ඒ සඳහා මූලික පරිසරය වන්නේ ප‍්‍රශංසා එකතුව, ශ‍්‍රාවක සංඝය හා කුඩා සංඝ එකතුවයි.

ප‍්‍රශංසා ගම සහ ප‍්‍රශංසා එකතුව

මීසමක් තුළ පිහිටුවන ලබන කිතු දන පුබුදු ව්‍යූහය තුළ පවතින කුඩා ම ඒකකය "ප‍්‍රශංසා ගම" ය. ප‍්‍රශංසා එකතුවට අයත් සියලූදෙනා එකමුතු වී පවත්වන මෙහෙය "ප‍්‍රශංසා මෙහෙය" වේ. සෑම ප‍්‍රශංසා ගමකට ම අවම වශයෙන් එක් ප‍්‍රශංසා එකතුවක් පවතින අතර ඒ සඳහා සතිය තුළ නිශ්චිත දිනයක් සහ වෙලාවක් වෙන්කර ඇත. එක් එක් සතියට ලැබෙන "සුපුවත" (Message) බෙදා ගනිමින් දෙවිඳුන්ට ප‍්‍රශංසා කරනුයේ වන්දනාව හා නමස්කාරය ද සමඟිනි. කිතු දන පුබුදුව තුළ දෙස් විදෙස් සංඝ තුළ දැනට ක‍්‍රියාකාරී වන ප‍්‍රශංසා එකතු 402ක් පවතී.

ශ‍්‍රාවක සංඝය

මීසම් කිහිපයකට අයත් ප‍්‍රශංසා ගම් කිහිපයක් එකතු වීමෙන් "ශ‍්‍රාවක සංඝය" සකස් වෙයි. ශ‍්‍රාවක සංඝයේ දිනය හෙවත් සාංඝික ජීවිතයේ දිනය සෑම මාසකම පළමුවන ඉරිදා වේ. එදිනට ශ‍්‍රාවක සංඝය සාංඝිකත්වය හා එකමුතුකම තුළින් සංඝයක් ලෙස එකතු වේ. පවුලක් ලෙසත්, ගමක් ලෙසත් ප‍්‍රශංසාවෙන් ද වන්දනා නමස්කාරයෙන් ද සුපුවත බෙදාගැනීමෙන් පමණක් නොව එක ම බත්පත බෙදා ගනිමින් ගැඹුරු සාංඝිකත්වයක් කරා ජනතාව රැගෙන යනුයේ දිනය අවසානයේ දී ‍ප්‍රීති උත්සවයක් ද අත්දකිමිනි. සංඝ දිනයෙහි තවත් සුවිශේෂි අංගයක් නම් කුඩා දරුවන් කෙරෙහි ද අවධානයක් දෙමින් විවිධ ක‍්‍රියාකාරකම් ඔස්සේ ඔවුන්ව ද සහභාගි කරගනු ලැබීම යි. කිතු දන පුබුදුව තුළ දෙස් විදෙස් සංඝ තුළ දැනට ක‍්‍රියාකාරී වන ශ‍්‍රාවක සංඝ 98ක් පවතී.

සංඝීකය

ශ‍්‍රාවක සංඝ කිහිපයක් එකතු වීමෙන් "සංඝීකය" සකස් වෙයි. එහි අංශ නියෝජනයක් මෙන් ම සේවා නියෝජනයක් ද සිදු වේ. කිතු දන පුබුදුව තුළ දේශීය සාංඝීක 16ක් ද විදෙස් සාංඝීක 3ක් ද වේ.

කුඩා සංඝ එකතුව

ඒ ඒ අංශයන් ලෙස එනම් මව්වරු මව්වරුන් සමඟ ද පියවරු පියවරුන් සමඟ ද තරුණ - තරුණි - ශිෂ්‍ය - ශිෂ්‍යාවන් ලෙස වෙන් වෙන්ව එකතුවී තම ජීවිත බෙදාගැනීමට යොමු වන මෙම එකතුන් (ශු. ලූක් 24: 13-35) හි හමුවන අත්දැකීම වෙත එකිනෙකා ගෙනයනු ලබනුයේ ජේසු සමිඳාණන් හමුවීමට ය.

රාත‍්‍රි මෙහෙය

සර්ව රාත‍්‍රී යාච්ඤාවක් ලෙස හෝ අර්ධ රාත‍්‍රී යාච්ඤාවක් ලෙස සෑම මසකම හතරවන සිකුරාදා දිනය ශුද්ධාත්ම දීමනා වරම් අත්දකින යාච්ඤාවකට ඇතුළු වනුයේ ශ‍්‍රාවක සංඝයක් ලෙසට ය. මෙය ශ‍්‍රාවක සංඝය තුළ එකමුතුකම, සාංඝීකත්වය සහ වර්ධනය ඇතිවීමට සේම අධ්‍යාත්මික පිබිදීමෙහි අඛණ්ඩතාව රැකගැනීමට මූලික වෙයි.

පවුලේ දිනය

කිතු දන පුබුදු සංඝයට අයත් සියළු දෙනාම බ‍්‍රහස්පතින්දා දිනය වෙන්කර තිබෙනුයේ පවුලේ දිනය ලෙසට ය. මෙදින කිතු දන පුබුදුව තුළ කිසිදු රැස්වීමක් සංවිධානය නොකිරීමට ප‍්‍රතිපත්තිමය තීරණයකින් සියලූ ම දෙනා එකඟ වී සිටියි. පවුලක් ලෙස එකතුව ස්වාමි පුරුෂයා, බිරිඳ සිය දරුවන් සමඟ පවුලේ දිනයට ඇතුළත් වනුයේ ඉරුදින දිව්‍ය පූජා යාගයට ද සූදානමක් ලෙස ය. මේ අනුව ඉරුදිනට නියමිත දේව වචනය පවුලක් ලෙස මෙනෙහි කිරීමට ද, පවුලක් ලෙස ජීවත් වීමේ දී මුහුණ දුන් සියළු දේ වෙනුවෙන් එකිනෙකා සමඟි වීම ද පවුලේ අවැසිතා වෙනුවෙන් එකමුතු ව යැදීම ද එක ම භෝජනයක් එකමුතු ව අනුභව කිරීම ද සිදු වේ. මේ ආකාරයට යාගික ජීවිතයකට අවදි වන පුබුදු පවුල් තමන් ජීවත් වන ගම, සංඝය සමඟ සාක්ෂි දැරීමේ ජීවිතයට යොමු වනුයේ සතිපතා පවුලක් ලෙස ලබන අත්දැකීමෙන් පොහොසත් වෙමිනි.

මේ අනුව ක‍්‍රිස්තුදානය තුළින් සහ කැපවීම තුළින් පුබුදුව හා බැඳෙන සාමාජිකත්වයට ඉහත ව්‍යූහයන් තුළින් අධ්‍යාත්මික පෝෂණය ලැබේ.

පුබුදු සුදු මුදු විවාහය

‘කිතු දන පුබුදු සුදු-මුදු විවාහය’ යනු ක‍්‍රිස්තුන් වහන්සේ තම එකම ස්වාමියාණන් කරගත් කිතුදන පුබුදු තරුණ තරුණියන් හට තම ජීවිතයෙන් ම උන්වහන්සේට සිය පක්ෂපාතීත් ව පුද කරන්නට දෙවියන් වහන්සේ වෙතින් ලද අති සුවිශේෂිත වූ දේව කැඳවීමකි. ‘දේව රාජ්‍යය සඳහා පවුලක්’ වෙමින් සිය ජීවිතයෙන් ම තමන් ලද දූතික මෙහෙවර පුරන්නට ඔවුන් ලද භාග්‍යවන්ත කැඳවීමකි.

තවද විවාහ මංගලෝත්සවයන් ද දිළින්දාව තවත් දිළිඳුභාවයේ අගාධයට ම ඇද දමන වහල් උත්සවයකි. සිංහල, හින්දු, දෙමළ, සියලූ සංස්කෘතීන්වල ස්ත‍්‍රියකගෙන් දෑවැදි අපේක්ෂා කිරීමේ සිරිත පැවතිණි. මෙය සමාජ පාපයකි. මෙම දෑවැදි අර්බුදයක් නිසා ගැහැණු දරුවන්ගේ දෙමව්පියන් දැඩි ලෙස පීඩාවට පත්විය. දිළින්දන්ගෙන් ‘ස්ත‍්‍රිය’ සැබැවින් ම දැඩි ලෙස ගැටලූවලට මුහුණ දෙන්නී ය. දිළිඳු බවේ පීඩාවෙන් ද ස්ත‍්‍රියක ලෙස උපත ලද නිසා සමාජය තුළ ඇතිවන පීඩාවෙන් ද ඇය හෙම්බත් වෙයි. කිතු දන පුබුදුව තුළ ස්ත‍්‍රියට ලබා දුන්නේ ගෞරවනීය තැනකි. ඇයට හිමි තැන ලබාදෙමින් කාන්තාවක් ලෙස ඇයට ගෞරව කරන පරිසරයක් එහි නිබඳ ව ම පැවැතිණි. ස්ත‍්‍රියකගෙන් දෑවැදි අපේක්ෂා කිරීම ක‍්‍රිස්තු විරෝධී බව පෙන්වා දෙමින් කිතු දන පුබුදු තරුණයෝ අභීත ව නැගී සිටිමින් දෑවැදි ප‍්‍රතික්ෂේප කළෝ ය. මෙය පැහැදිලි අභියෝගයකි. සරල බව හා අපිස් බව වැළඳ ගැනීම තුළ ඔවුහු තිරසාර ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියක පංගුකරුවන් විය. කතෝලික පුනරුදයක පෙර ගමන්කරුවන් ලෙස ඔවුහු කටයුතු කිරීම සමාජ වෙනසකට ද පෙර නිමිත්තක් විය.

විවාහ මංගල උත්සවයකට වර්තමානයේ නම් ලක්ෂ ගණන් වියදම් කිරීමේ වහල් ක‍්‍රමයක් පවතී. අතීතයේ සිට ම විවාහ උත්සවයක් ගැනීම සාමාන්‍ය පුද්ගලයකුට නම් අසීරු කාර්යයකි. විවාහ උත්සවය වාණිජකරණයේ වහල් බවේ පතුලටම ඇද ගත්තකි. සිතන්නටවත් නොහැකි යුගයක කිතු දන පුබුදුව "පුබුදු සුදු මුදු විවාහය ක‍්‍රමය" සමාජගත කෙරිණි. මනාලයාත් මනාලියත් පළඳින්නේ රත්තරන් වෙනුවට සුදු යකඩ මුදු දෙකකි. මනාලයා ජාතික ඇඳුමින් සැරසෙන අතර ඉතා මිළ අඩු සුදු රෙද්දකින් එය මසා නිම කරයි. මංගල දිනයේ දී මනාලිය සුන්දර ව සිටීම අවශ්‍ය ම වෙයි. එහෙත් ස්වභාවික සුන්දරත්වය සම්පූර්ණයෙන් ම වෙනස් වෙනස් කරන වත්සුණු ඇය තවරා නොගනී. මනාලියගේ සුන්දරත්වයට වඩා මලක සුන්දරත්වයත්වය මතුකර කර පෙන්වන ලෙස ඇය මිල අධික මල් භාවිතා නොකළ ද මලක පිවිතුරුකමින් ඇය සරල ව හැඩවෙයි. දස දහස් ගණන්, ලක්ෂ ගණන් වියදම් කර එක දවසට පමණක් සැරසෙන්නට ගන්නා සාරිය වෙනුවට ඇය ඉතාමත් මිලෙන් අඩු සාරියකින් හෝ ඔසරියකින් සැරසෙයි. දේශීය සිරිතට කුඩා පළඳනාවන් හිස ද ගෙල ද සරසා ගනියි. මංගල සීනු හඬ මැද රන්මුදු හා රන්මාල පළඳනවා වෙනුවට සුදු යකඩ මුදු පැළඳ ගාම්භීර වූ දිව්‍ය පූජාව මැද පුදසුන අබියස දෙවියන් හා දේව ජනතාව ඉදිරියේ ස්වාමිපුරුෂයා හා භාර්යාව වශයෙන් එකිනෙකාට ගිවිසුම් දෙයි.

කිරිබතින්, කැවුම්වලින් පිරි සරල තේ පැන් සංග‍්‍රහයකින් දේවස්ථානයට පැමිණෙන සැමට ම සංග‍්‍රහ කරයි. පුබුදු සුදු මුදු විවාහය සමාජයේ පවතින විවාහ ක‍්‍රමයට සැබැවින් ම අභියෝගයකි. සමාජයේ උසස් යයි කියා රැකියාවල නියුතු වූවන් මෙන් ම, ධනවත් හා දිළිඳු අය සියල්ලෝ ම දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ දී කිසිදු වෙනසක් නැති බව සනාථ කරමින් දිළිඳුකම වැළඳගත් ඔවුහු ප‍්‍රීතිමත් විවාහ උත්සවයක් පවත්වති. එය අනාගතයේ ක‍්‍රිස්තුන් වහන්සේ නැමැති මනාලයා පැමිණෙන මහා මංගල්‍යයට ජනතාව සූදානම් කිරීමක් බඳු ය.