ශුද්ධවූ සතියේ බදාදා දින සිට පාස්කු ඉරිදා එන අලූයම දක්වා පූර්ණ දේව වන්දනා සහභාගිත්වය ඇති ව මෙන් ම එළිමහන් පාදනමස්කාරයක් ද ඇතුළු ව සිදුකෙරෙන නේවාසික සම්මේලනයකි. සමිඳාණන්ගේ දුඃඛ ප‍්‍රාප්තිය දෙස ගැඹුරු අවදිවීමක් ඇති කරවමින් ශුද්ධ වූ සතියේ සුවිශේෂ දිනයන් සැමරීම පිණිස ඒ එක් එක් දිනයට අදාළ දේව පාඨ මෙනෙහි කිරීම, ක‍්‍රිස්තුන් වහන්සේගේ සිත දෙස බැලීම, සභාවේ ජීවමාන සම්ප‍්‍රදාය හා වත්පිළිවෙත් සම්බන්ධයෙන් දැනුවත් කරවීම මෙහි දේශනයන් තුළ අන්තර්ගත වන අතර අර්ථාන්විත ව ශුද්ධ වූ සතියේ දේව මෙහෙයන් සැමරීමටත්, ඉන් විශ්වාසය වර්ධනය කරගැනීමටත්, පාස්කුව හෙවත් එතෙරවීම පෞද්ගලික ව හා සංඝයක් ලෙස අත්දැකීමට යොමු කිරීමෙන් උත්ථානයේ බලය අත්දකින්නටත් ඒ තුළ කිතුනු දිවිය පන්නරය තැබීමටත් මෙම සම්මේලනය උපකාරී වේ. පාස්කු අභිරහස පිළිබඳ දේව වන්දනාව තුළ ලබාගන්නා වූ අත්දැකීම් හා අර්ථය සහභාගී වූවන්ගේ සාක්ෂි දැරීම තුළින් ප‍්‍රකට වෙයි.