කිතු දන පුබුදුව සුවිශේෂි වනුයේ, එය හුදු පෞද්ගලික ශුද්ධවන්තභාවයට පමණක් ජනතාව කැඳවන සංවිධානයක් බවට පත් නො වී යාච්ඤාවේ හා ප‍්‍රශංසාවේ ජීවිත ගත කරන ශුද්ධාත්මික ජනතා ව්‍යාපාරයක සළකුණ ලෙස විද්‍යාමාන වීම ය. සැබෑ ක්‍රිස්තියානිකාරයාට විමුක්තිය ළඟාකර ගත හැකි වන්නේ දෙවියන් වහන්සේ සමඟ මෙන් ම තම අසල්වැසියා සමඟ ප්‍රේමයේ සාංඝීක ජීවිතයක් ගත කිරීම තුළිණි. කිතු දන පුබුදුවේ ක‍්‍රියාවේ ප‍්‍රශංසා ජීවිතයේ ප‍්‍රධාන ලක්ෂණයක් වන්නේ දේශයට, සමාජයට, සංස්කෘතියට විශේෂයෙන් දිළින්දාට මාංශගත වෙමින් ක‍්‍රියාත්මක වීමයි. මන්ද සැබෑ පිබිදුණ ක්‍රිස්තියානිකාරයා, සමාජයටත් දේශයටත් ගැඹුරු ප්‍රේමයකින් යුතු ව ක්‍රියා කරන්නෙකු බැවිනි.
දෙවන වතිකාන මන්ත‍්‍රන සභාවෙන් වඩා පුළුල් ලෙස සමාජයට ප්‍රේම කිරීමේ අවශ්‍යතාවය හෙළි කළ අතර මෙම දැක්ම ජනතාවත් සමඟ ලක් දෙරණ මත රෝපණය කරන්නට ස්වාමි තාත්තා හෙවත් පූජක සිරි ඔස්කා අබයරත්න පිය පුරෝගාමි විය.
"ආසියාවේ පිබිදීමේ ව්‍යාපාරයේ ආරම්භකයා කිතු දන පුබුදුව බව" බෙල්ජියමේ ලූවේන් කතෝලික සරසවියේ දේව ධර්ම ශ‍්‍රාස්ත‍්‍රය හා ආගමික ඉගෙනුම් පීඨයේ ප‍්‍රායෝගික සභා වේදයේ ආචාර්ය මාක් ස්ටීන් නැමති බෙල්ජියම් ජාතික දේව ධර්මධරයාට අනුව (දේශන සටහන්, New Ecclesial Movements, 2016-2017, පිටුව 21) සනාථ කර ඇති අතර "වෙනත් පිබිදීමේ ව්‍යාපාරයෙහි ඇති ලක්ෂණ පහට අමතර ව හය වන ලක්ෂණය ලෙස කිතු දන පුබුදුවේ සමාජිය දැක්ම සුවිශේෂි වන බවත්" දක්වා ඇත. එනම්, කිතු දන පුබුදුව සමාජයට කරන්නා වූ යහපත් බලපෑම හා දිළින්දා කෙරෙහි දක්වන්නා වූ ආදරය විශේෂිත වන බව ය.
ශී‍්‍ර ලංකාවේ දේව ධර්ම ශාස්ත‍්‍රඥයෙකු වන ගරු ඇලෝසියස් පීරිස් පියතුමන් විසින් රචිත (The Genesis of an Asian Theology of Liberation An Autobiographical Excousus on the Art of Theologizing in Asia, Thulana Research Centre, Kelaniya, 2013, පිටුව 70) යන ග‍්‍රන්ථයෙහි සඳහන් කර ඇත්තේ "කිතු දන පුබුදුව මම සෑම විටම අගය කළේ හා ප‍්‍රශංසා කළේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ සුවිශේෂ වූ ආලෝකය ලබමින් සමාජයේ ප‍්‍රශ්නවලට ඇතුළු වූ හා බලපෑ ලොව පළමුවන පිබිදීමේ ව්‍යාපාරය වන නිසයි" යනුවෙනි.
"දේශපාලනය වනාහි ක‍්‍රිස්තියානින්ට ප්‍රේමයේ ගැඹුරු ම ක‍්‍රියාවකි" සයවන පාවුළු ශුද්ධෝත්තම පියාණන්ගේ අනාවරණය, ක්‍රියාවෙන් විද්‍යාමන කරන්නට අඩ සියවසරක් තුළ අප ආරම්භක පියතුමන් වන ආදර ස්වාමි තාත්තා කිතු දන පුබුදු ජනතාව පෙරමඟ ජනතාවක් ලෙස සුදානම් කළේ ය. කිතු දන පුබුදුව සමාජ ප‍්‍රශ්න ඉදිරියේ පෙනී සිට ක‍්‍රිස්තුස් වහන්සේ ව ප‍්‍රකාශ කළ අවස්ථා කිහිපයක් සංක්ෂිප්ත ව දැක්වීම උචිත ය.
කිතු දන පුබුදුව ආරම්භයේ දී ම 1971 මෙරට ඇති වූ තරුණ කැරැල්ලෙන් අසරණ වූ දහසක් තරුණ තරුණියන්ගේ ජීවිත පැවැත්ම යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා පෙනී සිටියේ ය. 1977 මහා මැතිවරණයේ දි පැවති දූෂිතභාවය හා පශ්චාත් මැතිවරණ ප‍්‍රචණ්ඩත්වයට එරෙහි ව ද, 1978 විධායක ඒකාධිපති ව්‍යවස්ථාවට හා 1980 රට ආගාධයකට ගෙන යන විවෘත ආර්ථිකයට එරෙහි ව ද, 1982 දූෂිත ජනමත විචාරණයට හා 1983 කළු ජුලියට එරෙහි ව ද, 1987 ඉන්දියානු ආක‍්‍රමණයට හා 1988-89 භීෂණයට එරෙහි ව ද කිතු දන පුබුදු විරෝධයේ හඬ රට පුරා දෝංකාර දුන්නේ ය.
තවද රටේ සංස්කෘතික පැවැත්මට අහිතකර ව්‍යපෘති වන ඉරණවිල "ඇමෙරිකන් හඬට" එරෙහි ව ස්වර්ගස්ථ වූ අති උත්තම ෆ‍්‍රෑන්ක් මාකස් හලාවත රදගුරු හිමිපාණන් සමඟ එක් ව 1990 දෙසැම්බර් කුරුසියේ පාදනමස්කාරයේ ජනතා පාද යාත‍්‍රාවට ද, 1991 දී කණ්ඩලම දී දේශයේ පාරම්පරික වැව් තාවුළු සංස්කෘතිය රැක ගැන්මට රන්ගිරි දඹුලූ විහාරයේ පූජ්‍ය ඉනාමළුවේ සුමංගල හිමි මෙහෙය වූ බෞද්ධ ජනතාවගේ සටනට කතෝලිකයන් වශයෙන් දඹුලූ ලෙන් ගල ඉස්මත්තට ද එක් විය. තවද 1993 - උණවටුන රැකගැනීමේ සටන ද, 1999 - එප්පාවල පොස්පේට් පොහොර නිධිය රැක ගැනීම සඳහා ද සම්බන්ධ විය.
සමාජ ප‍්‍රශ්න ඉදිරියේ හුදකලාව පෙනී සිටිනවා වෙනුවට පුළුල් ජන හඬක් උදෙසා ආගමික නායකත්වයෙන් ජනතා සන්ධානයක් ගොඩනැගීමේ වැදගත්කම හඳුනාගත් අප ආරම්භක පියතුමන් කෝට්ටේ නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝහිත හිමියන් සමඟ බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික, කිතුනු ආගමික නායකයින් එකට අත්වැල් බැදගැනීමෙන් 1993 දී "ආගමික සමඟි සංධානය" බිහි කිරීමට පුරෝගාමි විය. ධාර්මික හරය වෙත හැරී ජීවිතයත් - දේශයත් යළි ගොඩනැගීමට ඇරයුම් කරමින් අල්පේච්ඡ ජීවිතයට ජනතාවට ආරාධනය කළේ ය.
පක්ෂ දේශපාලන ගමන් මගෙහි 1994 වර්ෂය තීරණාත්මක මොහොතක් ලෙස සලකමින් වසර 17 ක් පැවති විනාශකාරී පාලනය බිඳ දැමීමට කිතු දන පුබුදුව ද ක‍්‍රියා කළ අතර පසු ව එම පාලන කාලය තුළ ද රටේ පැවැත්මට එරෙහි ව ගත් 1997 දි බලය බෙදීමේ පැකේජය විරුද්ධ ව පෙනී සිටින ලදී. එසේ ම වර්ෂ 2000 ක්‍රිස්තු ජයන්තියේ දී දිළිඳු රටවල් හා ණය බරින් නිදහස් කිරීමේ ව්‍යාපාරයට ද දායක විණි. තවද 2001 දී හම්බන්තොට දී සැකසෙන්නට ගිය ජල බද්දට එරෙහි ව එක් වූ අතර 2001 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ ශ්‍රේෂ්ඨත්වය පතා ජනතාව දැනුවත් කරන ලදී.
අදූරදර්ශි අවස්ථාවාදී දේශපාලන ක‍්‍රමවේද හා දේශපාලන මතවාදයන්ට යට නො වී අප දේශයේ පැවැත්ම හඳුනාගනිමින් 1998 දී "අලූත් පොළොවක් දකින්නට......." නමින් නව ව්‍යවස්ථාවක් සකසන්නට විද්වතුන්ට ආයාචනා කර, ධර්මයේ හරයන් පදනම් කරගත් ව්‍යවස්ථාවක් සැකසීම සඳහා විවිධ අවස්ථාවල දී රජයට යෝජනා මාලාවන් ඉදිරිපත් කරලී ය. නැවත එම දිවැසිවර වචනය, 2015 ජනාධිපතිවරණයේ දී ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් වෙත තවත් සංවර්ධනය වූ යෝජනා මාලාවක් ඉදිරිපත් කරන ලදි.
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවට ජනතාවට පෙරොන්දු වී බලයට පැමිණි නායකයින් එම පොරොන්දු කඩකරමින් ක‍්‍රියා කළ බැවින් 2015 දී අත්තනෝමතික විධායක බලතල අඩු කරන 19 වන ව්‍යවස්ථා සංශෝධනයට බලාත්මක කරනු සඳහා බහුජන සංවිධාන, විද්වතුන් හා කෝට්ටේ නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝහිත හිමියන් හා සමඟ ප‍්‍රශස්ථ ආණ්ඩුකරණයන් සඳහා යන තේමාව ඔස්සේ විශාල වැඩ පිළිවෙලක් දියත් කරන ලදී.
තවද කිතු දන පුබුදු ජනතාව තම පනස් වසරක ඉතිහාසය පුරා ම අප රටේ ජනතා මුහුණ දුන් ගංවතුර උවදුරු, නියඟ, සුනාමි වැනි ස්වාභාවික ආපදාවල දී ද යුද්ධයේ දී හා මෙම කාලයේ පවත්නා කොරෝනා වසංගතයේ දී ද, පීඩිත ජනතාව සමඟ මුදල් හා ද්‍රව්‍යමය අධාර උපකාර බෙදා හදා ගැනීමට කිසිසේත් මැළි වී නැත.