වෛවාහක සහකරු මිය යාමෙන් පසු අසරණ වී සිටින වැන්දඹු මව්වරු වෙත විශේෂිත අවධානයක් යොමු කළ අප ආදර ආරම්භක පියතුමන් එම "වැන්දඹු තත්ත්වය" වුව නො ඉල්ලා ලැබූ දේව ත්‍යාගයකින් පිදුම් ලැබ සිටින බැව් අනාවරණය කොට දේව පුත‍්‍රභාවයේ අන්‍යතාවය මත ගොඩනැංවී දේව රාජ්‍යය සඳහා කැපවීමට මඟ පෙන්වූහ. එම මව්වරුන්ගෙන් සමන්විත සංඝය සුමැදි සංඝය වේ.

විවිධ අභියෝගයන් මැද තනිභාවය අත්දකිමින් පීඩා විඳින වැන්දඹු මව්වරුන් වෙත නො ඉල්ලා ලැබූ ත්‍යාගයේ වටිනාකම අවබෝධකොට දෙමින් හා දේව සුරක්ෂිතභාවය මත යැපෙමින් අසීමිත ව අපට ආදරය කරන "දෙවිඳාණෝ අප සමඟය" යන දෙව් සුපුවත ආත්මගත කර ගැනීමට උදව් වීම අප සුමැදි මව් අංශයේ වගකීම වන්නා හ. තවද ශුද්ධාත්ම මඟපෙන්වීම තුළ "සු මැ දි" යන නාමය ඔවුන් වෙත ලබා දුන් ආරම්භක පියතුමන් එම නාමයෙහි අරුත මෙලෙස පහදා දුන්හ.

සු - සුවි ශුද්ධාත්මයාණන්ගේ
මැ - මැදිහත්
දි - දියණියෝ

1987 දී පමණ මරිමව් එකතුව නමින් ආරම්භ වූ වැන්දඹු මව් එකතුව සෑම මසක ම මාසයේ දෙවන සිකුරාදා දින ශ්‍රී ප‍්‍රශංසාරාමයේ දී පැවැත්වූ අතර ස්වාමි තාත්තාගේ මඟපෙන්වීම් ඔවුන්ට ශක්තිමයත් අත්වැලක් විය. 1998 වසරේ සිට සුමැදි මව් රැළි කිහිපයක් ශ්‍රී ප‍්‍රශංසාරාමයේ දී පැවැත් වූ අතර, 2007 වසරේ සිට සෑම වසරක ම සුමැදි මව් රැළියක් ශ්‍රී ප‍්‍රශංසාරාමයේ දී පවත්වනු ලැබේ.

සුමැදි මව් අංශයේ කැඳවීම වනුයේ මැදිහත් යාච්ඤා ජීවිතයයි. එයට අනුගත වෙමින් දේව රාජ්‍යය සඳහා සාක්ෂි දරමින් දෙවි සමිඳාණන් මහිමයට පැමිණ වීමයි. වැන්දඹු මව්වරු "සුමැදි මව්වරු" ලෙස නම් කොට සුවි ශුද්ධාත්මයාණන්ගේ මැදිහත් දියණියන් සේ, දේව ප්‍රීතිය භුක්ති විඳිමින් සාක්ෂි දැරීමට දිරිමත් කළ ස්වාමි තාත්තා වෙත සුමැදි මව්වරුන්ගේ ගෞරවාදරය සැමදා හිමි වේ.