දෙව් මවුන් පිළිබඳ, ශුද්ධවූ සභාව පිළිබඳ, ශුද්ධවූ සභාවේ ඉගැන්වීම් ප‍්‍රායෝගික ජීවිතයට ඇතුළු කිරීමේ දින හතරක ඥානකාන්තියකි. සෑම වසරක ම අගෝස්තු මාසයේ 12, 13, 14, 15 යන දිනයන් මුල්කරගෙන පවත්වාගෙන යන මෙම ඥානකාන්තිය මුළු ගැලවීමේ ඉතිහාසය පුරා ම භාග්‍යවන්ත මෑණියන් පිළිබඳ දෙවියන් වහන්සේගේ ක‍්‍රියාකාරීත්වය ශුද්ධවූ බයිබලය පදනම් කරගෙන හා ශුද්ධවූ සභාවේ සත්‍යතාවයන් ඉස්මතු කරමින් ඉදිරිපත් කරයි. දේශන 12කින් සමන්විත දින තුනක් පුරා ආරාමයක නේවාසිකව පැවැත්වෙන ඥානකාන්තියකි.

එමෙන්ම කතෝලිකයන්ට විශේෂ වන දේවමාතාවන් මෙන් ම සක‍්‍රමේන්තුවලට ද එරෙහිව එල්ල කරන අභියෝගවලට මුහුණ දීමට දැනුවත් කරනු ලබන්නකි. මරිය බැතිය පිළිබඳ කුඩා ප‍්‍රමාණයේ පාඨමාලාවක් ලෙස වුව ද ඉදිරිපත් කළ හැකි මෙම ඥානකාන්තිය ඉදිරිපත් කරනුයේ අත්දැකීම් (අනුභූතික) ස්වරූපයෙනි. කිතු දන පුබුදුවෙහි මරිය බැතිය සතු ‘නිශ්චලතාවය’ (නිහැඬියාව) ‘විවෘත වීම’ (දේව වචනයට), වචනය තුළ ජීවත් වීම, ‘දරාගැනීම’, ‘වර්ධනය කිරීම’, ‘බෙදා ගැනීම’ ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් පිරීම කරණකොටගෙන ‘හිස්වීම’ වෙත ද අවධානය යොමු කෙරේ. මහා සක‍්‍රමේන්තුව වන ක‍්‍රිස්තුන් වහන්සේ පිළිබඳ ගැඹුරු අවබෝධය සඳහා මග පෑදීම ද සක‍්‍රමේන්තු හත පිළිබඳ අවබෝධයක් ලැබීම සඳහා දොරගුළු විවෘත විවර කිරීම ද සිදු වේ.