"කිතු දන පුබුදුව අපෝස්තලික මෙන් ම ධ්‍යානපර ව්‍යාපාරයේ" දර්ශනයට මුළුමනින් ම තම ජීවිතය කැප කරමින් එහි කැරිස්මාව මත පිහිටා ශ‍්‍රී ලාංකීය දේශය තුළින් ම ආරම්භ කරන ලද්දා වූ කැපවුණු සංඝයකි. කිතු දන පුබුදු ප‍්‍රතිපදාව (පුබුදු ආධ්‍යාත්මිකත්වය) අනුව යමින් තමනට සුවිශේෂි වූ සුබැඳි කැරිස්මාව හෙවත් කුරුස පාමුල කැරිස්මාව තුළ ජීවත් වනු සඳහා වෘතශුද්ධිය, දිළිඳුකම, කීකරුකම (භාග්‍යවන්ත කන්‍යභාවය, අල්පේච්ඡතාවය, අවනතභාවය) යන ගුණාංගයන් පිළිපැදීමෙන් තමා ව මුළුමනින් ම දේව රාජ්‍යයට කැප කරගැනීමට කැඳවීමක් ලබා ඇත.

මෙය සභාවේ ව්‍යුහය තුළ පවතින කැපවුණු කන්‍යා ජීවිතය ගත කිරීමට ස්ථාපිත කරන ලද ගිහි ජීවිත සංඝයකිි. "Secular Institute of Consecrated life" මෙය සොයුරන් සහ සොයුරියන්ගෙන් සැදුම් ලත් සංඝයකි. ඔවුහු එහි ගැඹුරු ම මට්ටමින් පූර්ණ ලෙස පුබුදු ප‍්‍රතිපදාවට (ආධ්‍යාත්මිකත්වය) අනුව ජීවත් වෙමින් ඊට සාක්ෂි දැරීමට කැප ව සිටිති. ප‍්‍රශංසාවේ හා වන්දනාවේ ජීවිතයකි. යාච්ඤාවේ හා සේවයට කැපවුණු ජීවිතයකි. දේශය වෙනුවෙන් කැපවුණු ජීවිතයකි. පරිසරයට සොබාදහමට ආදරය කරන ජීවිතයකි.

සුබැඳි සංඝයේ ආරම්භය මෙබඳු ය. කිතු දන පුබුදු ආරම්භක පියතුමන් තුළින් කිතු දන පුබුදුව ආරම්භ වීමට පෙර උන්වහන්සේ පදවි තරුණ කතෝලික ව්‍යාපාරය තුළ සේවය කළ බැවින් එතුමාණන් සමඟ තරුණ තරුණියන් පිරිසක් වූ අතර එතුමන් සමගින් පූර්ණ කාලීන ව සේවය කිරීමට ශුද්ධාත්මයාණන් වහන්සේ තරුණ හදවත් ස්පර්ශ කර තිබුණි. ඔවුන් අතරින් ද පිරිසකට 60 දශකයේ අවසන් භාගයේ දී කතෝලික සභාව තුළ බිහි වූ ගිහි නිකායකට ඇතුළත් වීමට මඟ පෑදුණු වාතාවරණයක් විය.

ආරම්භක පියතුමන් තුළ තිබුණු පිපාසය හා උනන්දු කිරීම නිසා 1975 වසරේ දී තරුණියන් 10 දෙනෙකු මාබිම කුඩා ගෘහයක ඉතා සරළ දිවියක් ගත කරමින් අපෝස්තලික සේවාවන් හි නිරත වන්නට වූහ. සුබැඳි සංඝයේ පළමු සාමාජිකාව වූ මරියා ගොරෙට්ටි සොහොයුරිය ද එම කුඩා පිරිසට අයත් වූවා ය.

පළමු සාමාජිකාව

1976 වසරේ දෙසැම්බර් මාසයේ දිනෙක කිතු දන පුබුදුවේ ජාතික යැදුම් සම්මන්ත‍්‍රණය ඇගේ ජීවිතය පරිවර්තනය කරන සිදුවීමක් එනම් ආලෝකවත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දර්ශනය කිරීමේ වරමක් ඇයට ලැබිණ. එම දර්ශනය ද සමගින් තම පැරණි ජීවිතය සම්පූර්ණයෙන් ම අතහැර දමා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට සම්පූර්ණයෙන් ම තම ජීවිතය කැප කිරීමට ඈ තීරණය කළා ය. තම අදහස කිතු දන පුබුදුවේ ආරම්භක පූජක සිරි ඔස්කා අබයරත්න පියතුමා වෙත පල කළ ඈ පූර්ණ කාලීන ව කැපවීමට අවසර ඉල්ලා සිටියා ය. අවසානයේ දී 1978 ජූලි 17 වන දින පළමු කණ්ඩායම කොළඹ 15 මට්ටක්කුලියේ පිහිටි නිවසක "පළමු කැපවුණු ගෘහය" ආරම්භ කළේ ය.

1980 ජූලි 27 දින 4 දෙනෙක් සිය දිවිය ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැමැති සදාතනික මනාලයාණන්ට කැප කරමින් පොළෝතලය මත දේව රාජ්‍යයේ පැවැත්ම සඳහා අවිවාහක ව දූත කාර්යය පුරන්නට කුරුසිය පාමුල තනි ජීවිතයට සිය දිවි කැප කළහ. ඒ සඳහා ඔවුහු පළමු ගිවිසුමට එවකට කිතු දන පුබුදුවේ මූලිකත්වය වූ ජාතික මූලික එකතුව ඉදිරියේ පොරොන්දු දුන්හ. මරියා ගොරෙට්ටි සොයුරිය එහි ආරම්භකවරිය වෙමින් එහි ප‍්‍රථම තැන ගත්තා ය.

1983 නොවැම්බර් 20 වන දින පවත්වන ලද පුබුදු ජාතික පවුල් රැළියේ දී සොයුරන් දෙදෙනෙකු පමණක් ප‍්‍රථම පිරිමි කණ්ඩායම ලෙස ගිවිසුමට ඇතුළු වෙමින් ගැහැණු - පිරිමි දෙපිරිසෙන් ම වර්ධනය වෙන්නට වූ අතර 1986 දී මෙම සංඝයට සුබැඳි සංඝය යන නම දෙන ලදැයි සැලකිය හැකි ය.

සුබැඳි යන නාමය

සුබැඳි යනු ‘සු + බැඳි’ ලෙස අර්ථ දැක්විය හැකි ය. එනම් වඩා බැඳුණු, විශ්වයට ම පූර්ණ ව බැඳුණු, ‘කොටු නොවුණු’, ‘අගපේ’ සියල්ලන්ට ම බැඳුණු යන්නයි. "අසීමිත ප්‍රේමයේ උල්පත වූ පරම සත්‍යය වන දෙවිඳුන් හා වඩා බැඳුණු යන්න ද විශ්වය තුළ සකල සත්ත්වයන්ට ද මුළු මැවිල්ලට ද එහි මුදුන් මල්කඩ වන මිනිසාට ද වඩා බැඳුණු යන්න ද ‘සුබැඳි‘ යන්නෙන් අදහස් කෙරේ."

සුබැඳි ජීවිතයේ උල්පත හා ප‍්‍රථම සුබැඳියාණන් වන්නේ අපගේ එක ම රත්නය වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ම ය. මෙසේ සුබැඳි කැරිස්මාව කුරුස පාමුල ජීවිතය ය. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසිය පාමුල දේව මාතාවන්, ශු. ජුවාම් අපෝස්තුළුතුමන් ඇතුළු කාන්තාවන් ස්වල්ප දෙනා සමග ඔවුන් වහන්සේ බෙදා ගත් අත්දැකීම ද සුබැඳි සංඝයේ අත්දැකීම වන්නේ ය (ශු. ජුවාම් 19:25-27). විශ්වයේ විමුක්තිය සඳහා තමන් ව ම පූජා කළ කුරුසිය, දුක්විඳීමේ - අසාර්ථකත්වයේ - තනිභාවයේ - වෙන්වීමේ - මරණයේ සළකුණ මෙන් ම, පූර්ණ විමුක්තියේ සළකුණ ද වේ.

කුරුස පාමුල ජීවිතය උත්ථානයේ බලය, විමුක්තියේ බලය සියල්ලන් හා බෙදා ගැනීමට ඇරැයුම් ලබන ජීවිතයෙකි. කුරුසිය පාමුල දේව මාතාවන්ගේ නොසැලෙන විශ්වාසය බලාපොරොත්තුවේ පදනම සුබැඳි සංඝයේ ද විශ්වාසයයි. මෙසේ කුරුසිය පාමුල මහා ‍ප්‍රේමයට සාක්ෂි දැරීමට සුබැඳි සංඝය කැඳවනු ලැබ ඇත.

සුබැඳි ලාංඡනය

සුබැඳි සංඝයයේ ලාංඡනය රැස් දහර, ශ‍්‍රී කුරුසිය, ඔටුන්න හා දෙව්මැදුරේ දොරටුවක් වැනි වූ හැඩයන්ගෙන් සමන්විත ය. බෞව්තීස්ම ස්නාපනයෙන් ලබා ඇති ‍ත්‍රිවිධ වරයන් ද දිව්‍ය සත්ප‍්‍රසාදීය ජීවිතය කේන්ද්‍රගත සාංඝික දිවි පැවැත්ම ද ඉන් ප‍්‍රකාශ වේ. අෂ්ඨ රැස් දහරාවන්ගෙන් භාග්‍ය අට පදනම් කරගත් දිවැසිවර කැඳවීම අර්ථවත් කර ඇත. දිවැසිවර බලය ක්‍රියාවට නැඟීමට අත්දකින මරණය කුරුසය ලකුණ යෙදීමෙන් අර්ථවත් කර ඇත.