2021 ජුබිලි වසරේ කිතු දන පුබුදුව ලද තිළිණයක් වූයේ දිවැසිවර මැදිහත් සේවාව ඇරඹීමයි. එහි සුවිශේෂි පියවරක් වූයේ 2021 ජුනි මස "ශුද්ධවු දෑත් ඔසොවා යාච්ඤා කරන්න" නම් වූ ග‍්‍රන්ථය දොරට වැඞීමයි. චැවිලියර් සිරිල් ජෝන් මහතා විසින් රචිත "PRAY LIFTING UP HOLY HAND" නම් මෙහි මුල් ග‍්‍රන්ථය සිංහල බසට පරිවර්තනය කරන ලද්දේ රන්ජනා කවිරත්න අම්මා විසිනි.

අප පැමිණි වසර 50 ක දිගු ගමන තුළ මැදිහත්වීමේ සේවාව පිළිබඳ ව ස්වාමි තාත්තා තුළින් අප ලැබුවා වූ ඉගැන්වීම් සම්භාරයකි. දිවැසිවර මැදිහත්වීමේ සේවාව සහ එමඟින් ලද මඟපෙන්වීම් පුබුදු ගමනේ මැදිහත් යාච්ඤාවේ සේවාව තව තවත් ඔපවත් කරන්නට විය. දේව කැමැත්ත සෙවීමේ පුබුදු රිද්මයට ඉන් ලද ආලෝකය, අධ්‍යාත්මික බලය සහ මඟපෙන්වීම සුවිශාල ය.

සාම්ප‍්‍රදායික මැදිහත්වීම සහ දිවැසිවර මැදිහත්වීම අතර ඇත්තේ සුවිශාල වෙනසකි. දිවැසිවර මැදිහත්වීම මඟින් අප කැඳවනුයේ දෙවියන් වහන්සේගේ ගැළවීමේ ක‍්‍රියාවලියට පංගුකාර වීමට ය. කිතු දන පුබුදුවෙන් පළමු දිවැසිවර මැදිහත් කණ්ඩායම ලෙස කුඩා පිරිසක් අන්තර්ජාතික වැඩමුලූවකට සහභාගි විය. ඉන්පසු ව ජාතික මට්ටමේ කණ්ඩායමකට එම මඟපෙන්වීම් ලබා දෙමින් දිවැසිවර මැදිහත් යාච්ඤා කණ්ඩායමක් ලෙස බලගන්වන ලදි. එහි ඊළඟ අදියර වනුයේ සාංඝීක, ශ‍්‍රාවක සංඝ වෙත දිවැසිවර මැදිහත්වීමේ සේවාවේ පුහුණුව ලබා දීම යි.