කිතු දන පුබුදු අධ්‍යාත්මිකත්වයේ සුවිශේෂි ලක්ෂණය ලෙස අපගේ කැරිස්මාව අපට හඳුන්වාදිය හැකිය. ක‍්‍රිස්තියානි අධ්‍යාත්මිකත්වය කුමන මුහුණුවරක් ගත්තත්, මහෝත්තමයාණන්ගේ දිමනාවක් මිස "මිනිසාගේ" නිර්මාණයක් වන්නේ නැත. කිතු දන පුබුදුවට සමිඳාණන් වහන්සේ විශේෂ දිමනාවක් දි ඇත. එය කෙනෙකු වරමක් හැටියට හඳුන්වන අතර එය "කැරිස්මාව" (ග‍්‍රීක භාෂාවෙන් ‘කාරිස්’) යන වචනයෙන් හඳුන්වන්නට ද පුළුවන.

කිතු දන පුබුදු අපගේ කැරිස්මාව විස්තර කිරිමේ දී සෑම කැරිස්මාවකට ම පොදු ලක්ෂණයක් වෙත අවධානය යොමු කළ යුතු වේ. එනම් වර්ධනයකට භාජනය වන සහ විකාශනය වන දෙයක් යනුවෙනි. කිතු දන පුබුදුව කැරිස්මාව ගැන අවදි වුයේ කිතු දන පුබුදුවේ දෙවන යුගය ලෙස සැලකෙන 1996 න් පසුවය. එහෙත් පුබුදු ඉතිහාසය දෙස අවදි විමෙන් බලන කල්හි පිබිදීම ආරම්භයේ සිට දෙවි මහෝත්තමයාණන් ශ‍්‍රී ලංකාව තුළ අපට විශේෂ වු තෑගි 04 ක් දානය කර ඇති බව හදුනා ගත හැකිය.

පුබුදුවේ දුත මෙහෙවර වශයෙන් අරම්භයේ පටන් ශුද්ධාත්මයාණන් වහන්සේ ස්වාමි තාත්තාව අවදි කරනු ලැබුවේ "දෙවියන් වහන්සේගේ මහිමයේ ප‍්‍රශංසාව සඳහා ක්‍රිස්තුන් වහන්සේගේ ස්වාමීත්වයට සියල්ල ඒකරාශී කිරීම" ය. (එපීස 1:7-12) මෙම දුත මෙහෙවර සඳහා දෙවියන් වහන්සේ අපව පහත සඳහන් අත්දැකිම් වලට කැඳවු සේක.

  • මරිය තුමිය වාගේ හිස්විම.
  • උත්ථානවු සමිඳාණන් වහන්සේ අත්දැකීම.
  • ශුද්ධාත්මයාණන් වහන්සේ අත්දැකිම.
  • දෙවියන් වහන්සේ අබ්බා තාත්තා ලෙස අත්දැකිම.

මරිය තුමිය දෙවියන් වහන්සේට ඉඩ දිම තුළින් ඔවුන් වහන්සේගේ මහිමයට ප‍්‍රශංසා කළාය. සියල්ලෙන් හිස් වු එතුමිය "නිශ්චල වන්න මම දෙවිදුන් බව දැනගන්න" (ගිතාවලිය46:10) යන අත්දැකිම මත නිසලතාවය, විවෘත භාවය, ලබා ගැනීම, දරා ගැනීම, වර්ධනය කිරීම, බෙදා ගැනීම (බිහි කිරිම) යන අත්දැකිම් ඕතුමියගේ ජීවිතය තුළින් අප මෙනෙහි කොට ඇත. ඒ හරහා දෙවියන් වහන්සේව විශේෂාකාරයෙන් අත්දුටු භාග්‍යවන්ත අම්මාගේ අත්දැකිමට අපව කැදවනු ලැබීය. සැබැ කිතුනුවෙකු යනු උත්ථානවු ක‍්‍රිස්තුස් වහන්සේව මුණ ගැසීම සහ ඔවුන් වහන්සේව ඇසුරු කිරිමේ අත්දැකිම තුළ දිවි ගෙවන්නෙකි. උත්ථානවු සමිඳාණන් අත්දකිමින් ඔවුන් වහන්සේට ඉඩ දෙන තරමට ශුද්ධාත්මයාණන් වහන්සේ අපව මෙහෙය වන්නට පටන් ගන්නා සේක. ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් මෙහෙය වනු ලබන අය දේව පුත‍්‍රයෝ ය. "මන්ද ඔබ ලබා ඇත්තේ නැවත බිය ගෙන දෙන වහල් සේවයේ තත්ත්වය නොව, ‘අබ්බා පියාණෙනි’යි අමතා යාච්ඤා කිරිමට ඉඩ ඇති පුත‍්‍රකම ලැබිමේ තත්ත්වයකි". (රෝම 8:14-15) මෙම අනාවරණයන් අත්දැකීම සඳහා පෞද්ගලික යාච්ඤාවේ පියවරයන් ලෙස අපට මඟපෙන්වනු ලැබීය. ඒ සමඟ තවදුරටත් මෙම පියවරයන් වර්ධනයකට භාජනය විය.

  • මරිය තුමිය වාගේ වෙමු.
  • ක්‍රිස්තු අත්දැකීමට ඇතුල් වෙමු.
  • පුත‍්‍රභාවය අත්දකිමු.
  • දේව සම්මුඛය අත්දකිමු. (ඔවුන් වහන්සේ තුළ වැජඹීම හෝ විශ‍්‍රාමයෙන් සිටීම)

මේ පියවරයන් සඳහා දිනපතා පෞද්ගලික යාච්ඤාවට මඟපෙන්වීම් රාශියක් ලැබුණු අතර, "යැදුම් පාසල" නමින් විශේෂ ඥාණකාන්තියක් ද ගොඩනැඟුනි.

කිතු දන පුබුදුවට වසර 25 සපිරෙන විට 1996 දි කිතු දන පුබුදුවට ම විශේෂ වූ අධ්‍යාත්මිකත්වයක් ගැන මෙනෙහි කිරීමට ස්වාමි තාත්තාව ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් මෙහෙයවන ලදි. එහිදි පුබුදු ඉතිහාසය පුරා අපගේ අත්දැකීම වු ඉහත ලක්ෂණ 04 අපගේ කැරිස්මාව ලෙස පැහැදිලිව හදුනා ගන්නට විය. එහි ආරම්භය වුයේ "අත්හරින්න" යන විශේෂ වචනය ය. එය භාග්‍යවන්ත අම්මාගේ අත්දැකීමට ඇතුළුවීමේ තවත් පියවරක් විය. අපගේ උත්සහයෙන්, හිස්වෙන්නට, මරියතුමිය වාගේ වන්නට ප‍්‍රයත්න දැරුවත් අපේ ශක්තියෙන් එය කළ නොහැකි බව පැහැදිළි විය. භාග්‍යවන්ත අම්මා ශුද්ධාත්මයාණන් වහන්සේට විවෘත වී, වසා ගන්නට ඉඩ දුන්නාසේ, ශුද්ධාත්මයාණන් වහන්සේට ඉඩ දිමෙන් හිස්විම අයිති කර ගැනිම අපගේ තෑගි හතරේ පළමුවන අත්දැකීම වේ.

ක්‍රිස්තුන් වහන්සේගේ අත්දැකීමට ඇතුළුවීමේ දී ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත‍්‍රයාණන් යන අනාවරණය මත ඔවුන් වහන්සේගේ පුත‍්‍රභාවය දෙස බැලීම දෙවන ලක්ෂණය විය. "මා අනුව එන්න" යැයි පුත‍්‍රයාණන් වහන්සේ අපවද කැඳවා තිබෙන්නේ දේව පුත‍්‍රභාවය අයිති කර ගැනිමට බව අපට තහවුරු විය. දේව පුත‍්‍රයාණන් වු ජේසු සමිඳාණන් මිනිස් සංහතියේ පාපයේ විපාකය, විශ්වයේම පාපයේ විපාකය කරට ගෙන අත්විඳිමින් සාංඝික වුවා සේ සාංඝික වන්නට ශුද්ධාත්මයාණෝ අපවද අපගේ පුත‍්‍රභාවයට කැඳවු සේක. අවසානයේ පියාණන් වහන්සේට සියල්ල භාර දී අභිරහස්මක දෙවියන් වහන්සේ (ඔවුන් වහන්සේ තුළ ජීවත් වීමට, හැසිරීමට, පැවතීමට) සම්මුඛයෙහි පෙනී සිටීමට ශුද්ධාත්මයාණන් වහන්සේ අපව කැඳවු සේක.

මෙලෙස පුබුදු කැරිස්මාව (දීමනාව) අත්දැකීම් හතරක් ලෙස අපට අනාවරණය විය.

  1. භාග්‍යවන්ත අම්මා වාගේ හිස්වීම හා ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් පිරීමේ අත්දැකීම.
  2. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පුත‍්‍රභාවය දෙස බැලීම.
  3. අපගේ පුත‍්‍රභාවය.
  4. අභිරහස්මක පියාණන් වහන්සේ සම්මුඛයේ පෙනී සිටීම.

කිතු දන පුබුදුවට සම්බන්ධ වීම යනු මෙම අත්දැකීම් හතරට ඇතුළු වීමට කැඳවීමක් ලැබීම හා එය පිළිගැනීම බව අපට තහවුරු විය. පුබුදු කැරිස්මාව අත්දැකීමට ශුද්ධාත්ම භාවනාව නම් විනාඩි 45 ක භාවනාමය සාංඝික අභ්‍යාසයක් ස්වාමි තාත්තා අපට හඳුන්වා දෙනු ලැබීය. එලෙසම මෙම සිව් ඝනයේ දීමනාවන් අත්දකිමින් පෞද්ගලික යාච්ඤාව (මගේ පැය) ට ඇතුළු වීමට මඟපෙන්වීම් ලැබී ඇති අතර නිරන්තර අවදිවීම, ජීවිත සිදුවීම් වලදී සහ දේව කැමැත්ත විමසීමේ ක්‍රියවලිය තුළ මෙම සිව් ඝනයේ දීමනාවන් අත්දැකීමට ද මඟ පෙන්වීම් ලැබී තිබේ. මෙම අත්දැකිම් ගැඹුරු කරමින් අපව ඉදිරියටද රැගෙන යාමට ශුද්ධාත්මයාණන් වහන්සේට ඉඩ දිම කෙරෙහි අවදිවීම අපගේ කැදවීමයි.

ශුද්ධාත්ම භාවනාව

"ශුද්ධාත්ම භාවනාව" අප ආරම්භක පියතුමන් (ස්වාමි තාත්තා) විසින් පුබුදු කැරිස්මාව අත්දැකීමට අපට හඳුන්වා දෙනු ලැබූ විනාඩි 45ක භාවනාමය සාංඝික අභ්‍යාසයකි. පුබුදු කැරිස්මාවේ පියවර 4 ඔස්සේ මෙම භාවනාව අභ්‍යාස කරනු ලැබේ.