අධ්‍යාපනය යනු හුදු පොතක් පතක් කියවීමට ලිවීමට හෝ සාර්ථක දිවියක් සඳහා උසස් රැකියාවක නිරත වන්නට හැකියාව ලබාදෙන මාධ්‍යයක් නොවේ. එය සමාජ යථාර්ථයක් දකිමින් පරිණත පුද්ගලයෙකු මෙන් පැමිණෙන බාධක කම්කටොලූ ජයගන්නට සලසන පහන් ටැඹක් බඳු යැයි අර්ථකතනය කර දැක්වීම වඩා උචිතය. පිරිපුන් ලොවකට මඟ පෙන්වන ඒ පහන් ටැඹ, ආලෝකවත් කරවන කිතු සමිඳුන් සමඟ ශිෂ්‍යා දිවිය ගොඩනැංවීම අරමුණු කරගනිමින් පුබුදු ශිෂ්‍යා අංශය බිහිවිය.

වසරින් වසර පුළුල් වන විෂය පරාසයන්ගෙන් මනස පුරවාගෙන දිනුම් ලබන වත්මන් ශිෂ්‍යාව, ජීවිතය නමැති විෂයෙන් පැරදෙන අවස්ථා අද සමාජයේ සුලබ වේ. පොතපතින් ලබන දැනුම ප‍්‍රශ්න පත‍්‍රයට පමණක් සීමා නොකොට, ජීවිත අත්දැකීම් වෙතට ද ඈඳා ගනිමින් ජීවත්වීමේ විෂය අපට උගන්වන කිතු සමිඳාණන් සමඟ එක්ව සිසු දිවිය ගමන් ගන්නට ශිෂ්‍යාවට එහිදී මඟ පෙන්වයි.

සියල් විදුකමේ විශ්ව විදුහලයි කිතු සමිඳා
ප‍්‍රවේශ වෙමු අපි විශ්වාසයේ සම්මාන පුදා
අමිහිරි දුක් පිරි අත්දැකුම් මැදින් ගමන් ගමු
ජීවත් වීමේ විෂය සමිඳුගෙන් ඉගෙන ගමු
(පුබුදු ගීතාංජලී ගී අංක 144)

ශිෂ්‍යා අංශයේ ක්‍රියාකාරිත්වය

පුබුදු ශිෂ්‍යා අංශය ජාතික හා සාංඝික මට්ටමෙන් ක්‍රියාත්මක වේ. ශිෂ්‍යා අංශයේ ක්‍රියාකාරී වැඩපිළිවෙල ගොඩනැංවීම සඳහා ශිෂ්‍ය සහයක එකතුව මසකට වරක් යාච්ඤාව පෙරදැරි කර ගනිමින් එක්රැස් වේ. වර්ෂය ආරම්භයේ සකස් කරන ජාතික ශිෂ්‍යා වැඩපිළිවෙලට අනුව ශිෂ්‍යා රැළිය හා දිනය, ඥානකාන්ති හා වැඩමුළු පවත්වනු ලැබේ. සාංඝීකයන්හි තෝරා ගත් ක්‍රියාකාරී ශිෂ්‍යාවන් සඳහා මඟපෙන්වීමේ එකතුවක් සෑම මසකම පවත්වනු ලබයි.

මාස්පතා ඒ ඒ සාංඝීකයන් හි සියලූ ශිෂ්‍යාවන් සඳහා පොදු දිනයක් ද පවත්වනු ලබයි. සාංඝීකයන්හි ශිෂ්‍යා ක්‍රියාකාරී එකතුව විසින් ඒ ඒ පොදු දිනයන් සතිපතා හෝ මසකට දෙවරක් ප‍්‍රශංසා ගම් මට්ටමෙන් ශිෂ්‍යා එම්මාවුස් එකතු පවත්වාගෙන යනු ලබයි.

ශිෂ්‍යා අංශයේ ඉතිහාසයෙන් බිඳක්

ආරම්භයේ දී පූජක සිරි ඔස්කා අබයරත්න පියතුමාගේ දැක්මෙන් (කිතු දන පුබුදුව ආරම්භයට පෙර) ස්වාධීන වැඩපිළිවෙලක් ලෙස සිසු ජීවිත මෙහෙයවිය හැකි නායකත්වයක් බිහි විය. "අපි විප්ලවයක් නොකරමු. විප්ලවය අපි වෙමු" යනුවෙන් සිතා බලන්නටත්, විග‍්‍රහකර විනිශ්චය කරන්නටත් ඒ අනුව කළ යුතු යම් කාර්යයක් යම් පෙරලියක් වේ ද කිසිදු පැකිලීමකින් තොරව ඉටු කරන්නත් සිසු සිසුවියන්ගේ චරිත පෞර්ෂත්වය ගොඩනැඟුනි.

සිසුවියෝ 1968 ඔක්තෝබර් මස 12 දින "නොමඟට යවන බලවේගයන්ගෙන් සිසු සිසුවියන් මුදාගැනීම පිණිස" යනුවෙන් අරමුණ පළ කරමින් මරදාන සා. ජෝසප් විද්‍යාලයෙහිදී සිය ප‍්‍රථම වාර්ෂික රැළිය පැවැත්වූහ.

1969 ඔක්. 11 දින "ජාතික වස්තු රකිමු" යන තේමාවෙන් ශිෂ්‍ය / ශිෂ්‍යා මහ රැළිය පවත්වන ලදී. වගකීමෙන් තොර පිරිස් විසින් විනාශ කළ ඩෙස්ක් බංකු, පුටු, මේස ආදී පොදු වස්තූන් ප‍්‍රදර්ශනය කරමින් සිසු සිසුවියෝ 2000කට ආසන්න පිරිසක් මෙම රැළියට සහභාගී විය.

1980 ඔක්. 11 දින "සිසු දිවියේ සෑම ගැටුම් තුළින් පිරිපුන් ලොවකට නග පා" යන තේමාවෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගනයෙහි පුබුදු සිසු සිසුවියෝ සිය වාර්ෂික රැළිය පැවැත්විය.

1981 ඔක්. 11 දින "සමිඳුන් අපි බෙදාගනිමු, සමිඳු තුළින් බෙදාගනිමු" යන තේමාව යටතේ කිතු දන පුබුදු ශිෂ්‍යා මහා රැළිය පවත්වන ලදී.

1986 වසරේ දී "ඔබයි ක්‍රිස්තු වීරවරිය ප‍්‍රසන්න වූ සිසු දුවේ" යනුවෙන් තේමා කොටගත් තුන් දින සමුළුවක් ශ‍්‍රී ප‍්‍රශංසාරාමයේ දී පවත්වන ලදී.

1995 "නාස්තිය වලකමු" තේමාවෙන් ශිෂ්‍යා දිනයක් පවත්වන ලදී.

1996 "පුත‍්‍රභාවයේ මහිමය දිනවමු" යන තේමාවෙන් ශිෂ්‍යා රැළියක් පවත්වන ලදී.

ආදී වශයෙන් වාර්ෂිකව ලැබෙන තේමාව අභියෝගයක් කර ගනිමින් පිබිදුනු ශිෂ්‍යා දුවලා ලෙස මහා පුබුදු සංඝය තුළින් සභාවට අභියෝගයක් වන්නේ ය.