ශිෂ්‍යයා නිතැතින්ම ගවේෂකයෙකි. අලූත් දේවල් සොයා බලන්නට, අත්හදා බැලීම් කරන්නට වැඩි ඇල්මක් දක්වයි. මේ බව හොඳින් දැනගත් අප ආදර ස්වාමි තාත්තා 1957 සිට කිතු දන පුබුදු ගමන් මඟ ආරම්භ වන නිමේෂය දක්වා වැඩි කලක් ගත කරනු ලැබුවේ ශිෂ්‍ය, ශිෂ්‍යාවන්, තරුණ, තරුණියන් සමඟ ය. ස්වාමි තාත්තා තරුණ ශිෂ්‍ය (YCS) ව්‍යාපාරය හා බැදෙමින් නව නායකයින් ගොඩනගමින් කළ පෙරළිය දේව සැලැස්මකි. එය අනාගතයේ ඇතිවන්නට යන මහා පිබිදීමේ ව්‍යාපාරයට මහත් ශක්තියක් වූ බව නොඅනුමාන ය. ශිෂ්‍ය අවධිය නව නායකයින් බිහි කරන පෙරළිකාර අවධියක් බව එතුමන් දැන සිටියේ ය. එහෙයින් පුහු වටිනාකම් ඉවත ලා සැබෑ වීරත්වය ශිෂ්‍යයාගේ ජීවිතය තුළ නිර්මාණය කරන්නට එතුමන් යොමු වූයේ ජේසුස් ක‍්‍රිස්තුන් වහන්සේ වීරයාණන් ලෙස බාරගන්නට ඔවුනට අභියෝග කරමිනි.

1971 වර්ෂයේ දී කිතු දන පුබුදු මහා ගිහි ව්‍යාපාරය ආරම්භ වීමෙන් අනතුරුව එහි ව්‍යුහය තුළ ශිෂ්‍ය අංශය ද ගොඩ නැගුණු අතර එතැන් සිට තරුණ අංශයේ මගපෙන්වීම යටතේ ඔවුන්ගේ වැඩ කටයුතු සිදු විය. ස්වාමි තාත්තා පූජක තුමකු වීමෙන් පසු එතුමන්ගේ දූත කාර්යය ශිෂ්‍ය, ශිෂ්‍යාවන් තරුණ, තරුණියන් වටා බැඳුණු අතර එම අවධියේ දී සිදු වූ සියලූ ඓතිහාසික සිදුවීම් නව සිසුවෙකු ලක් දේශය තුළ තනන්නට ස්වාමි තාත්තාට ඉවහල් වූ බව අවිවාදිත ය. නමුත් 1971 න් පසු ආරම්භ වන කිතු දන පුබුදු අත්දැකීම තුළ ශිෂ්‍ය අංශය ද ශුද්ධාත්ම නව නිර්මාණයකි. එහි ඓතිහාසික බොහෝ කරුණු පුබුදු පිය අරගලය පරිශීලනය කරන්නෙකුට දැනගත හැකි ය. මෙම ලිපිය තුළින් බලාපොරොත්තු වන්නේ ශිෂ්‍ය අංශයේ පදනම ඉදිරිපත් කිරීම ය.

ශිෂ්‍ය අංශයේ අරමුණ වන්නේ ක‍්‍රිස්තුන් වහන්සේව වීරයා කරගත්, දේව රාජ්‍යය දර්ශනය කරගත් පුබුදු ශිෂ්‍යයන් බිහි කිරීමයි. පුබුදුව මුල් යුගයේ සිට ම ස්වාමි තාත්තා විසින් ශිෂ්‍යයන් යොමු කළේ අධ්‍යාත්මිකව මෙන්ම ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් හරහා ක‍්‍රිස්තු පෞරුෂයට ශිෂ්‍යයන්ගේ පෞරුෂය ගොඩනැගීමට යි. වර්ෂ 1976 දී ‘ජාතික වස්තු රකිව්’ යන තේමාව මුල් කරගෙන එවකට සිටි ශිෂ්‍ය අංශය විසින් පළමු රැුලිය සංවිධානය කළ අතර සිසුන් බොහෝ පිරිසක් ඊට සහභාගි විය. මෙතැන් පටන් කිතු දන පුබුදු ශිෂ්‍ය ව්‍යාපාරයේ ගමන ආරම්භ වූ අතර අප ආදර ස්වාමි තාත්තා තුළ තිබූ ජීවිත දර්ශනය, ඉතිහාසය තුළ එතුමන් සිදුකළ සියළු ක‍්‍රියාකාරකම්, වැඩසටහන් අප අංශයට පදනමක් වූවා නිසැක ය. දිළින්දා ගැන සිතන්නට, පොදු වස්තූන් සුරකින්නට හා පරිසරය සුරකින්නට ද හරවත් අධ්‍යාපනයක් ලබන්නට, කාල සටහනකට අනුව වැඩ කිරිම, ජීවිතයේ උසස් රස වින්දනයක් ලබන්නට ද රට තුළ උද්ගත වන යම් කාලීන අර්බුදයන් හමුවේ වුව ද නායකත්වය ගෙන පෙනී සිටින්නට ද ශිෂ්‍යයෝ පෙරමුණ ගත්හ. තවද කාඞ්බෝඞ් වීරයන් ඉවතලා ජේසුස් ක‍්‍රිස්තුන් වහන්සේ ව වීරයා කරගැනීම ශිෂ්‍ය ජීවිතයේ මූලික පදනම වන අතර ශුද්ධාත්මයාණන් වහන්සේට නිරන්තර අවදි වීම කෙරෙහි ශිෂ්‍යයන් තුළ වැඩි නැඹුරුවක් ඇති කිරීමට ද, සරල චාම් ජීවිතය, දිව්‍ය පුජා යාගයට සුදු ඇඳීම වැනි අපගේ වටිනාකම්වලට මූලික තැනක් දී කටයුතු කිරීම ද සිදු කරනු ලබයි. එහෙයින් ශිෂ්‍ය අංශයට ආවේණික වූ පිවිසිම් කතා මාලාවක් ද, පුබුදු දර්ශනය ඥානකාන්තිය ද ස්වාමි තාත්තා තුළින් ශිෂ්‍ය අංශයට ලද අමිල දායාදයන් ය.

අද වනවිට ද එම අත්දැකීම් පාදක කරගනිමින් ශිෂ්‍යයන්ව කිතු දන පුබුදු අත්දැකීම තුළ වර්ධනය කරනු සඳහා වාර්ෂිකව ශිෂ්‍ය ඥානකාන්ති මෙන්ම සාංඝීක හා ප‍්‍රාදේශිය මට්ටමින් විවිධ එකතු හා වැඩසටහන් සංවිධානය කරනු ලබයි. ඒ වාගේම වාර්ෂිකව ශිෂ්‍යයන් පිබිදීමේ වැඩපිළිවෙලක් මෙන්ම ප‍්‍රායෝගික (Campaign) වැඩපිළිවෙළක් ද ඉදිරි වසර පිළිබද කරනු ලබන සාකච්චාව හා යාච්ඤාව තුළ දේව කැමැත්ත විමසමින් සිදු කරනු ලබයි. එසේ රටට ම බලපාන ලෙස කරන ලද ප‍්‍රායෝගික වැඩසටහන් අතර පොලිතින් පිටු දැකීමේ ව්‍යාපාරය, පොදු දේපළ සුරකිමු තේමාව යටතේ රෝහල් ශ‍්‍රමදානය, මුලපුරමු අධ්‍යාපනයේ හරවත් දැක්මකට තේමාව යටතේ ජාතික ගුරු දිනය ද සුවිශේෂත්වයක් දරයි.

ශිෂ්‍ය ඥානකාන්ති අතර මුතු ඇටය ඥානකාන්තිය, සිහිනය ඥානකාන්තිය හා කුළුණු තුන ඥානකාන්තිය විශේෂ වේ. සාමාන්‍ය පෙළ නිම වූ සිසුනට ‘සේවා පුහුණු හල’ ලෙස තෝරාගත් කාලපරිච්ඡේදයක් (මාස තුනක පමණ) තුළ ජීවිත පුහුණුවක් ලබා දෙමින් පෞද්ගලික යාච්ඤාව, ශුද්ධවූ බයිබලය කියවීම, ශුද්ධාත්මයාණන් වහන්සේට අවදි වීම, කාලසටහනකට වැඩ කිරීම හා මනුෂ්‍ය පුත‍්‍රභාවයේ ලක්ෂණ වන වගකීම, කල්පනාකාරිත්වය, ස්වෝත්සහය හා නිර්මාණශීලිත්වය යන ලක්ෂණයන්ට ද දේව පුත‍්‍රභාවයේ ලක්ෂණ වන අභිමානය, සුරක්ෂිතභාවය හා සාංඝිකත්වය පිළිබඳ ව ශිෂ්‍යයන් අවදි කරවමින් පෞරුෂත්වයෙන් හෙබි ශිෂ්‍ය නායකයින් ගොඩනැගීම ද සිදු කරනු ලබයි. එහි තවත් පියවරක් ලෙස අ.පො.ස උසස් පෙළ නිම වූ සිසුනට ශිෂ්‍ය සේවා පුහුණු හල පවත්වන අතර ශිෂ්‍ය අංශය තුළ දූත සේවාවේ යෙදෙමින් ශිෂ්‍යයන් බැහැ දකිමින් ශිෂ්‍යයන් ගොඩනැගීමේ වැඩපිළිවෙළක් ද පවතී.

මෙම සෑම ප‍්‍රයත්නයක ම අරමුණ ශිෂ්‍යයන් ව විවිධ අයුරින් ක‍්‍රිස්තුන් වහන්සේ වෙත සමීප කරලීමයි. පිබීදීමේ අත්දැකීමට කුඩා කල සිට ම ඇතුළු කිරීමයි. එමඟින් සභාවට, පුබුදුවට සැබෑ ක‍්‍රිස්තු වීරයෙක් ගොඩනැඟීම යි.